May, 22, 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (22) දිනයේ දී ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.67ක් සහ විකුණුම් මිල රු. 353.17ක් ලෙස වාර්තා වී තිබේ.
ඊයේ (21) ශ්රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වාර්තා වූ අතර එය දැක්වුනේ රු. 342.63ක් සහ රු. 354.03ක් ලෙසයි.
මේ අතර මෙරට බලපත්රලාභී වානිජ බැංකුවල ද දෛනික විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් අද (22) දිනයේ දී වාර්තා වී ඇත.
ඊයේ (21) දිනයේ දී බැංකු කිහිපයක් සඳහන් කළ පරිදි රු. 354.00 ක් දක්වා ඩොලරයක විකුණුම් මිල ඉහළ ගොස් තිබුණු අතර අද දිනයේ දී එම විකුණුම් මිල ගණන් රු. 349 සිට රු. 354 දක්වා මිල පරාසයන් හි පවතී.
ඒ අනුව අද (22) පෙරවරුවේ දී මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව - රු. 340.75 - රු. 349.75
මහජන බැංකුව - රු. 343.95 - රු. 354.24
සම්පත් බැංකුව - රු. 343.50 - රු. 352.50
කොමර්ෂල් බැංකුව - රු. 343.09 - රු. 354.25
HNB - රු. 344.50 - රු. 353.00
සෙලාන් බැංකුව - රු. 342.75 - රු. 354.75