May, 25, 2026
මෙරට ජාතික ආර්ථික පරිවර්තනයට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වන කොළඹ වරාය නගරයේ අංගසම්පූර්ණ ශාඛාවක් පිහිටුවීම සඳහා ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකාවේ පළමු බැංකු අතරට කොමර්ෂල් බැංකුව එක්වී ඇත.
කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක වන ආයතන, ආයෝජකයින්, ව්‍යාපාර සහ පුද්ගලික බැංකුකරණ සේවා ලබා ගන්නා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද සේවාවන් රාශියක් මෙම බැංකු ශාඛාව මගින් ලබා දෙනු ඇත. මෙම සේවාවන් අතරට ඩිජිටල් බැංකු පහසුකම්, වෙළඳ ගනුදෙනු සම්බන්ධ සේවා, විදේශීය මුදල් සම්බන්ධ ගනුදෙනු, ආයතනික බැංකු විසඳුම්, තැන්පතු, ණය දීම, බැංකු කාඩ්පත් සේවා සහ ප්‍රේෂණ පහසුකම් ඇතුලත් වේ.
කොළඹ වරාය නගරය තුළ සිය පැවැත්ම ස්ථාපිත කිරීම හරහා කොමර්ෂල් බැංකුව දේශසීමා හරහා ක්‍රියාත්මක වන ව්‍යාපාර හා ආයෝජන ප්‍රවාහයන්ට සේවා ලබා දීමට සිය ධාරිතාවය තවදුරටත් ශක්තිමත් කරන බව බැංකුව පැවසීය. මෙම විශේෂ ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරන ගෝලීය ආයෝජකයින්, බහුජාතික සමාගම් සහ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින්ගේ නවීන අවශ්‍යතා සපුරාලීම සඳහා ස්ථානගත වීමට ද බැංකුව අපේක්ෂා කරයි.
බැංකුවේ මෙම නවතම මුලපිරීම පිලිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා සඳහන් කලේ, කොළඹ වරාය නගරය තුළ ශාඛාවක් පිහිටුවීමට බැංකුව ගත් තීරණය මෙම ප්‍රයත්නය කෙරෙහි බැංකුවේ ඇති දිගුකාලීන විශ්වාසය මෙන් ම, ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ මූල්‍ය පරිසරයක අවශ්‍යතාවලට සහය දැක්වීමට බැංකුව සතු සූදානම පිළිබිඹු කරන බවයි.
“ආයතන, ජාත්‍යන්තර සේවාදායකයින් සහ ඉහළ වටිනාකමක් ඇති ව්‍යාපාර සඳහා සේවා ලබා දීම වෙනුවෙන් ඉහළ කීර්තියක් උසුලන ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස, කොළඹ වරාය නගරය අප දකින්නේ මෙරට ආර්ථික අනාගතයේ වැදගත් සංවර්ධන සංධිස්ථානයක් ලෙසයි,” යනුවෙන් ද ඔහු පැවසීය. “මෙම විශේෂ ආර්ථික කලාපය තුළ ශාඛාවක් පිහිටුවීමෙන් අපට දේශසීමා හරහා සිදුවන ගනුදෙනුවලට, ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන සඳහා පහසුකම් සැලසීමටත්, උසස් ඩිජිටල් හැකියාවන්ගෙන් සපිරි ගෝලීය මට්ටමේ බැංකු විසඳුම් ලබාදීමටත් හැකියාව ලැබෙනු ඇත. කොළඹ වරාය නගරය තුළ අංග සම්පූර්ණ ශඛාවක් සඳහා සැලසුම් දියත් කළ ප්‍රථම බැංකු වලින් එකක් බවට පත්වීම, මූල්‍ය නවෝත්පාදනයන් මෙහෙයවීමේ හා ජාතික සංවර්ධනයට සහය වීමේ පුරෝගාමියෙකු ලෙස අපගේ කාර්යභාරය නැවතත් තහවුරු කරයි.”
“උසස් ගණයේ සංවර්ධකයෙකු ලෙස අපගේ කාර්යභාරය හුදෙක් නගරයක් ගොඩනැගීමෙන් ඔබ්බට ගොස්, ක්‍රියාකාරී ජාත්‍යන්තර ව්‍යාපාරවලට මූලික අඩිතාලමක් ලබා දීම හා මූල්‍ය මධ්‍යස්ථානය සඳහා මුල් පියවර තැබීම දක්වා විහිදී යයි,” යනුවෙන් CHEC පෝර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සියෝන්ග් හොංෆෙන්ග් මහතා පැවසීය. “කොළඹ වරාය නගරය තුළ කොමර්ෂල් බැංකුව වැනි ආයතන පිහිටුවීම එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් වේ. මන්දයත්, එමගින් මුල් අවධියේ සිට ම නගරයේ ක්‍රියාකාරීත්වයට සැබෑ මෙහෙයුම් සේවාවන්වල ගැඹුර හා විශ්වාසනීයත්වය ලබා දෙන බැවිනි. එමගින් මෙම ව්‍යාපෘතිය පිටුපස ඇති පුළුල් වූ ගම්‍යතාවය සහ ගෝලීය වශයෙන් වඩාත් සම්බන්ධිත, ආයෝජන මත පදනම් වූ ආර්ථිකයක් කරා යන ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබිඹු වේ.”
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සමඟින් CHEC පෝර්ට් සිටි කලම්බෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සියෝන්ග් හොංෆෙන්ග් මහතා සමාගම් දෙකෙහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ඉදිරියේ ගිවිසුම හුවමාරු කර ගැනීම.
Video Story