Eswaran Brothers සමාගමේ සේවය කරන කාන්තාවන් වෙනුවෙන් විශේෂ නායකත්ව සංවර්ධන වැඩසටහනක්

    June, 9, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ නිෂ්පාදන සමාගමක් වන Eswaran Brothers Exports (EB) සමාගම කාන්තාවන් වෙනුවෙන් ‘She Transforms’ නමින් විශේෂ සයමාසික නායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. කාන්තාවන් සවිබල ගන්වන අතරම ඔවුන්ට නායකත්ව තනතුරුවලට පත්වීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. නායකත්ව පුහුණු විශේෂඥවරියක වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසින්, මෙම වැඩසටහන නිර්මාණය කරන ලදී.  මෙය නායකත්ව ශක්‍යතා සංවර්ධනය, අන්තර්කරණය (Inclusion) සහ දීර්ඝකාලීන ආයතනික පරිවර්තනය යන මූලික අරමුණු පදනම් කරගත්, Eswaran Brothers Exports සමාගමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ න්‍යායපත්‍රයේ එක් වැදගත් අංගයක් ලෙස හැඳින්විය හැකි වේ.

    Eswaran Brothers Exports සමාගමේ කාර්ය මණ්ඩලයෙන් 44% ක්ම කාන්තාවන් වන නමුත්, මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය වූයේ ඒ අතරින් ජ්‍යෙෂ්ඨ තනතුරු දරනුයේ 23% ක් පමණක් බවයි. කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ගෝලීය සංවිධානයක් වන Value for Women සංවිධානය විසින් FMO, the Dutch Development Finance Bank හි සහය ඇතිව මෙම සමීක්ෂණය සිදුකරන ලදි. එහිදී අනාවරණය වූ තවත් වැදගත් කරුණක් වූයේ, බොහෝ කාන්තාවන්ට වෘත්තීය ජීවිතයේ ඉහළට යාමට හැකියාව තිබුණද ඔවුන්ට ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී ඒ සඳහා හිමි වන සහයෝගය හා අවස්ථා සීමිත බවයි.

    මෙම ගැටලුවට පිළියමක් වශයෙන් Eswaran Brothers සමාගම විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙන ලදි. මේ යටතේ කාන්තාවන්ට වෘත්තීය මගපෙන්වීමක් මෙන්ම, මාතෘ නිවාඩු අවසන් වී යළි සේවයට පැමිණෙන සේවිකාවන්ට වඩාත් පුළුල් සහයෝගයක් ලබා දෙන ලදි. එමෙන්ම කළමනාකාරවරියන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන ලද අතර, ආයතනයේ සියලු අංශ තුළ අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමට සහ වෘත්තීය දියුණුවට ඇති අවස්ථා පුළුල් කිරීමටද කටයුතු යොදන ලදි.

    වැඩසටහනේ ප්‍රතිඵල අතිශයින් සතුටුදායක විය. මාස 6 ක් තුළ කාන්තාවන් 20 දෙනෙකුට උසස් වීම් ලැබුණු අතර, එය පෙර වසරට සාපේක්ෂ 2.4 ගුණයක වර්ධනයකි. මේ අතර පිරිමි පාර්ශ්වයේ උසස් වීම්ද දෙගුණයකින් ඉහළ යාම මඟින් පෙනී යන්නේ, භේදයකින් තොරව කාටත් ප්‍රතිලාභ හිමි වන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම තුළින් සමස්ත කාර්ය මණ්ඩලයටම යහපත සැලසෙන බවයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය, වගකීම් දැරීමේ හැකියාව, ක්‍රමෝපායික චින්තනය සහ තීරණ ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් නිරීක්ෂණය වූ බව කළමනාකාරවරුන් මෙන්ම වැඩසටහනට සහභාගී වූ පිරිසද වාර්තා කළහ.

    Eswaran Brothers සමාගමේ සමූහ මානව සම්පත් සහ නීති ප්‍රධානී නිමාලි සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ තම තනතුරුවල සීමාවන්ගෙන් ඔබ්බට ගිය නායකත්ව ගුණාංග වර්ධනය කරගනිමින්, වඩාත් කැපීපෙනෙන ලෙස සහ ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට කාන්තාව පෙළඹුණු බවයි.

    She Transforms වැඩසටහන ආරම්භ කරන ලද්දේ මෙම යහපත් ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අරමුණිනි. පියවර 10 ක් යටතේ සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් පුහුණුව හා මඟපෙන්වීම ඔස්සේ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, බලපෑම්සහගත බව, නායකත්ව කුසලතා සහ මානසික ශක්තිය වැනි ගුණාංග වැඩිදියුණු කෙරේ. සංජානන නායකත්ව මෙවලම්, භූමිකා නිරූපණයන්, සීමා නිර්ණය කිරීමේ ක්‍රමෝපායන් සහ සමූහ අවලෝකන සැසි ඔස්සේ වැඩසටහන සහභාගී වූ පිරිස වර්තමාන අධිවේගී ව්‍යාපාර ලෝකය තුළ නායකත්වය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි සාර්ථක ප්‍රවේශයන් මොනවාද යන්න ගවේෂණය කළහ.

    “නායකත්වය යනු ඉගෙනගත හැකි දෙයක් නොවෙයි. එය ඔබ තුළින්ම පැමිණෙන දෙයක්. මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ කාන්තාවන්ට තමන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගෙන, අත්හදා බැලීම් තුළින් දියුණුවේ අවස්ථා උදාකර ගැනීමට හැකි වන ආකාරයටයි. එහිදී ඔවුන්ට ගතානුගතික විශ්වාසයන්ට අභියෝග කරමින්, රැකියා ස්ථානයේ සැබෑ අත්දැකීම් ඔස්සේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරගෙන තම නායකත්ව හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව හිමි වෙනවා.” සෙනෙලා ජයසූරිය මහත්මිය පැවසුවාය.

    වැඩසටහනට සහභාගී වූ පිරිස පැවසුවේ මෙය තම ආකල්ප වෙනස් කරගැනීමට, තමන්ට පාලනය කළ හැකි දේවල් වෙත අවධානය යොමුකිරීමට, වඩාත් පැහැදිලි දැක්මකින් යුතුව තීරණ ගැනීමට සහ තම තනතුරු තුළ වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීමට මඟපෙන්වූ වැඩසටහනක් බවයි. එමෙන්ම කාල කළමනාකරණය, රාජකාරි පැවරීම, සහයෝගීත්වය සහ සන්නිවේදනය සම්බන්ධ කුසලතා වැඩිදියුණු වූ බවත්, සාමාන්‍යයෙන් පුරුෂ නියෝජනය වැඩි රාජකාරි පරිසරයන් තුළ පවා පෙරට වඩා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම සඳහා එමඟින් තමන්ට ධෛර්යය ලැබුණු බවත් බොහෝ දෙනෙක් කියා සිටියහ.

    She Transforms යනු හුදෙක් පුහුණු වැඩසටහනක් පමණක් නොවේ. එය ව්‍යාපාර ලෝකයේ අනාගත අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ඇති, නායකත්ව ගුණාංග සපිරි වෘත්තීය කාන්තාවන් බිහි කරන සුවිශේෂී ක්‍රියාවලියක් බවට මේ වන විට වැඩිදියුණු වී තිබේ. එමෙන්ම එය ආයතනයේ කාර්යසාධනය ශක්තිමත් කරන අතරම කාන්තාවන්ගේ නායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියකි.

    “Eswaran Brothers සමාගම මේ ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන්නේ, හුදෙක් ඉලක්කවලට සීමා නොවී එම ඉලක්ක ළඟා කරගැනීමට ප්‍රායෝගිකව පියවර ගැනීම තුළින් කෙතරම් ඉක්මනින් ආයතනයක නායකත්ව ගතිකත්වයන් වෙනස් කළ හැකිද යන්නයි. අරමුණ, ක්‍රමවේදය හා නිසි සහයෝගය තිබේ නම් කාන්තාවන්ගේ නායකත්ව හැකියාවන් නිතැතින්ම අවදි වනවා.” Value for Women සංවිධානයේ සහකාර අධ්‍යක්ෂිකා (උපදේශන සේවා) රෙනේ හන්ටර් මහත්මිය පැවසුවාය.

    Eswaran Brothers සමාගම ක්‍රියාවට නැංවූ She Transforms වැඩසටහනේ සාර්ථකත්වය තුළින් පැහැදිලි වන්නේ, ආයතනයක කාර්ය මණ්ඩලයක සැබෑ තත්වයන් අවබෝධ කරගෙන ඒ අනුව නායකත්ව සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින් කෙතරම් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිද යන්නයි. ඉදිරියටත් මෙම වැඩසටහන ඔස්සේ කාන්තාවන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කරමින්, ඔවුන්ට තම වෘත්තීය දියුණුව ළඟා කරගන්නා අතරම ආයතනයේ දියුණුවට වඩාත් පුළුල් ලෙස දායක වීමට අවස්ථාව උදා කර දීම Eswaran Brothers සමාගමේ අරමුණ වී තිබේ.

    Eswaran Brothers Exports සමාගමේ ‘She Transforms’ නායකත්ව සංවර්ධන වැඩසටහනට සහභාගී වූ පිරිස

    Video Story

    Stock Market

    Exchange Rates