2026 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.1ක වර්ධනයක්

    June, 15, 2026

    2026 වර්ෂයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.1%ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    2026 පළමු කාර්තුව තුළ දී සමස්තයක් ලෙස කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.1%ක්, 7.2%ක් සහ 3.4%ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ කියා සිටී.

    2026 පළමු කාර්තුව ආරම්භ වූයේ රට දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ බලපෑම් ජය ගැනීමට උත්සාහ කරන අතරතුර වන අතර 2026 පළමු කාර්තුව අවසන් වන විට පවා ගල්ෆ් කලාපයේ අර්බුදකාරී තත්ත්වය සමඟ අලුත් අභියෝග කිහිපයක් ඉස්මතු විය. කෙසේවෙතත්, මෙම බාධක මධ්‍යයේ වුවද, 2026 පළමු කාර්තුවේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.1ක වර්ධනයක් වාර්තා කර ඇත.

    ආනයන දේශීය නිෂ්පාදනය මත රඳා පවතින බැවින්, දේශීය නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා යෙදවුම් සැපයීමෙන් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. සත්‍ය වශයෙන්ම, 2026 පළමු කාර්තුවේ, ආනයන පරිමාව පෙර වසරේ පළමුවන කාර්තුවේ වාර්තා වූ ආනයන පරිමාවට සාපේක්ෂව පහෙන් එකකින් වැඩි වී ඇති බව වාර්තා වේ. ආනයනවල මෙම සැලකිය යුතු වැඩිවීම රජයට වැඩි බදු ආදායමක් ලබා දීමෙන් ආර්ථිකයට පහසුකම් සැලසූ අතර එමඟින් දේශීය නිෂ්පාදනය සුමටව පවත්වාගෙන යාම සඳහා ප්‍රාග්ධන භාණ්ඩ මෙන්ම අතරමැදි භාණ්ඩ ද සපයයි. ආනයනවල මෙම කැපී පෙනෙන වැඩිවීම පිටුපස ඇති ප්‍රධාන බලවේග ලෙස ඉදිකිරීම් ක්‍රියාකාරකම්, භාණ්ඩ සහ මගී ප්‍රවාහන ක්‍රියාකාරකම් දැකිය හැකි වූ අතර , එසේම එම ක්‍රියාකාරකම් 2026 පළමු කාර්තුවේ දී ඉහළ වර්ධන අනුපාත වාර්තා කර ඇත. ඉදිකිරීම් කටයුතුවල වාර්තා වූ ඉහළ ධන වර්ධනය සමඟ පතල් හා කැණීම් කටයුතු ද සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. නිමවුම් කර්මාන්ත කටයුතු පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා අඩු වේගයකින් වර්ධනය වී ඇති අතර කෘෂිකාර්මික කටයුතුවල පොල් වගාවේ සැලකිය් යුතු වර්ධනයක් මෙම කාර්තුවේ දී වාර්තා විය. ආර්ථිකයේ වෙළෙඳ පරිමාව සහ වාහන තොගය වැඩිවීම, අඩු පොලී අනුපාතය සමඟ සම්බන්ධ වෙමින් 2026 පළමු කාර්තුවේ දී රක්ෂණ සේවා ක්‍රියාකාරකම් සහ මූල්‍ය සේවා ක්‍රියාකාරකම්වල ඉහළ ධන වර්ධන අනුපාත වාර්තා කිරීසට පහසුකම් සපයන ලදී.