ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම සඳහා ප්‍රයිම් සමූහය සහ BNS එක්වෙයි

    June, 18, 2026

    ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සහ, ජාත්‍යන්තරය ජයගත් සුප්‍රකට ශ්‍රී ලාංකික ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ් (BNS) අතර සුවිශේෂී හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාම සඳහා තබන ලද සුවිශේෂී පියවරකි.

    භාතිය සන්තුෂ් හෙවත් BNS සුසංයෝගය ශ්‍රී ලංකාවේ ගීත කලාව ලෝකයට රැගෙන යාම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. ප්‍රයිම් සමූහ ව්‍යාපාරයද ජාත්‍යන්තර තලයේ ඉදිකිරීම් තුළින් ලොව පුරා ගැනුම්කරුවන්ගේ ආකර්ෂණය දිනාගනිමින් සිටින දැවැන්ත දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරයකි. මෙම පාර්ශ්වය දෙකෙහි සුසංයෝගය, ශ්‍රී ලාංකිකත්වය ගෝලීය වේදිකාව වෙත රැගෙන යන සුවිශේෂී නව ගමනක ඇරඹුමක් වනු නිසැකය.

    මේ වන විට ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරනුයේ තවත් ජනප්‍රිය ගී තරුවක් වන උමාරියා ගායන ශිල්පිනියයි. ශ්‍රී ලාංකික විශිෂ්ටත්වය ගෝලීය වේදිකාව මත අභිෂේක කරවීම සඳහා ඇයද කලක පටන් සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.

    දශක තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සුවිශාල පෙරළියක් සිදුකිරීමට ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් වී ඇත. වර්තමානයේදී කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි වී ඇති දැවැන්තම දේපළ වෙළඳාම් සමාගමක් වන්නේ එම සමූහයයි. ප්‍රයිම් සමූහයේ ව්‍යාපාර කටයුතු සුඛෝපභෝගී මහල් නිවාස, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති  සහ ජාත්‍යන්තර දේපළ ව්‍යාපෘති ඇතුළු පුළුල් පරාසයක් ආවරණය කරයි.

    මෑතකදී ප්‍රයිම් සමූහය විසින් කොළඹ වරාය නගරය හෙවත් Port City පරිශ්‍රයේ ‘Prime and Melwa’ නමින් දැවැන්ත ඉදිකිරීමක් ආරම්භ කරන ලදි. මෙය කලාපයේ Marina facing සුඛෝපභෝගී නිවාස සම්ප්‍රදායට නව අරුතක් එක්කරමින් ලොව පුරා ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් BNS කණ්ඩායමේ සන්තුෂ් වීරමන් පැවසුවේ, තම සංගීත ජීවිතය තුළ තමන් සෑම විටම ශ්‍රී ලාංකිකත්වය ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාමට උත්සාහ කළ බවයි. ප්‍රයිම් සමූහය මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරය තුළ ස්ථානගත කිරීමට සැලසුම් කිරීම එබඳුම උත්සාහයක් බවත්, මෙම හවුල්කාරීත්වය රටේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාමේ සාමූහික ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    මේ අතර BNS කණ්ඩායමේ භාතිය ජයකොඩි කියා සිටියේ, ශ්‍රී ලංකාවට ගෝලීය වේදිකාව තුළ තරග කිරීමට පැහැදිලි හැකියාවක් ඇති බවයි. ප්‍රයිම් සමූහය යනු ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරන සමාගමක් බවත්, දේශීය අරමුණු සමඟ ජාත්‍යන්තර ආකල්ප සුසංයෝග වූ විට කෙතරම් වටිනා ජයග්‍රහණ ළඟා කරගත හැකිද යන්න එම සමූහයේ සාර්ථකත්වය මඟින් මනාව පැහැදිලි වන බවත් ඔහු කියා සිටියේය.

    මේ අතර ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසුවේ ප්‍රයිම් සමූහයේ දැක්ම දේපළ සංවර්ධනයට සීමා නොවන බවයි. “අප මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් දේපළ ව්‍යපෘති රාශියක් ක්‍රියාවට නංවමින්, විදේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනාගනිමින් සිටිනවා. මෙවැනි පසුබිමක් තුළ ජාත්‍යන්තරයේ අවධානය වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාව දෙසට යොමු කරවීම සඳහා මෙබඳු හවුල්කාරීත්වයන් බෙහෙවින් වැදගත්. උමාරියා, භාතිය සහ සන්තුෂ් යනු ලාංකික විශිෂ්ටත්වය ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය පිරිසක්. ඔවුන්ගේත් අපේත් අරමුණු එක සමානයි. එවැනි පිරිසක් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම අපට මහත් සතුටක්.” රුමින්ද රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙය හුදෙක් ව්‍යාපාරික හෝ ප්‍රචාරණ හවුල්කාරීත්වයක් නොව, ශ්‍රී ලාංකික විශිෂ්ටත්වයේ ජාත්‍යන්තර සම්ප්‍රාප්තිය උදෙසා පොදු ඉලක්ක, අරමුණු සහ අපේක්ෂාවන් සහිත පිරිසකගේ සුවිශේෂී සුසංයෝගයක් ලෙස හැඳින්විය හැකි වේ.

     

     

    ඡායාරූපය: වමේ සිට: Prime Lands හි ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය, ප්‍රයිම් සමූහයේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ සහ ප්‍රයිම් සමූහයේ අධ්‍යක්ෂිකා ෂෙහානා බ්‍රහ්මණගේ යන මහත්ම මහත්මීන්