රේගුවේ ලියාපදිංචි නොමැති ආනයනකරුවන්ට අද සිට බැංකුවලින් ඩොලර් Advance Payment බැහැ

    June, 19, 2026

    ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදුකරන විදේශ ප්‍රේෂණ නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරමින් නව නීති රීති මාලාවක් අද, එනම් 2026 ජුනි 19 වන දින සිට නිල වශයෙන් බලාත්මක කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කරන ලද "2026 අංක 06 දරන ආනයන හා අපනයන (පාලන) නියෝග" යටතේ මෙම නව පියවර ගෙන ඇත.

    මෙහි ඇති වැදගත්ම කරුණක් වන්නේ, රෙගුලාසිවල 6 වැනි කරුණ මගින් පනවා ඇති පූර්ව ගෙවීම් සම්බන්ධ සීමා දැඩි කිරීමයි. ඒ අනුව, අදාළ ආනයනකරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිසි පරිදි ලියාපදිංචි වී නොමැති නම්, භාණ්ඩ ආනයනය කිරීම සඳහා වන කිසිදු පූර්ව ගෙවීමක් (Advance Payment) සිදුකිරීම අද සිට වාණිජ බැංකුවලට නීතියෙන් තහනම් වේ.

    මෙම නව නීතියට අනුව, ඕනෑම විදේශ ප්‍රේෂණයක් සිදුකිරීමට පෙර ආනයනකරු 8(4) නියාමනය යටතේ "පූර්ව ගෙවීම් සිදුකිරීම සඳහා සුදුසුකම් ලත් ආනයනකරුවෙකු" ලෙස රේගුවේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වේ.

    2026 ජුනි 18 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මෙම නීති රීති අද (ජුනි 19) සිට බලාත්මක වේ. නව නියෝග ප්‍රකාරව, සෑම ගනුදෙනුවකටම අනන්‍ය අංකයක් ලබා දීමට බැංකු බැඳී සිටින අතර, ආනයනකරුගේ බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN), ප්‍රතිලාභියාගේ ගිණුම් විස්තර සහ ආනයනය කරනු ලබන භාණ්ඩ පිළිබඳ සියලු තොරතුරු රේගු දෙපාර්තමේන්තුව වෙත වහාම ලබා දිය යුතුය.

    ආනයන ප්‍රේෂණ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සහ විදේශ විනිමය ගලායාම විධිමත්ව පාලනය කිරීම මෙම පියවරෙහි මූලික අරමුණයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු "මෙහෙයුම් උපදෙස්" ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වාණිජ බැංකු වෙත අද සිට නිකුත් කිරීමට නියමිතය.