ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණයට කැබිනට් අනුමැතිය

    June, 23, 2026

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මෙහෙයුම්වල බහුතරය ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සඳහා බොහෝ දුම්රිය මාර්ග, සංඥා පද්ධති සහ ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පවතී. එබැවින්, නවීන හා තිරසර දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව දුම්රිය මාර්ග ඉදිකිරීම, ද්විත්ව මාර්ග ඉදි කිරීම, සංඥා පද්ධති වැඩිදියුණු කිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම කේන්ද්‍ර කර ගත් දුම්රිය සංවර්ධන වැඩසටහන් කිහිපයක් ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

    ඒ අනුව, ප්‍රවාහන ධාරිතාව වැඩිදියුණු කිරීම, ගමන් කාලය අඩු කිරීම සහ පරිසර හිතකාමී හා තිරසර මහජන ප්‍රවාහන සේවාවකට සහාය වීමේ අරමුණින් අධික මගී ඝනත්වයක් පවතින කොරිඩෝවන්හි දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට හඳුනාගනු ලැබ ඇත. එම සංවර්ධන කටයුතු රටේ දිගුකාලීන ප්‍රවාහන නවීකරණ උපායමාර්ගයේ කොටසක් ලෙස ජාත්‍යන්තර සංවර්ධන ආයතනවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, පහත සඳහන් දුම්රිය මාර්ග විද්‍යුත්කරණය සහිතව ඉදි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    • ප්‍රධාන මාර්ගය - ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංවර්ධනය ද ඇතුළුව මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ගය.
    • කැලණි වැලි මාර්ගය - මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය.
    • මුහුදුබඩ මාර්ගය - මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය.