June, 30, 2026
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව පසුගියදා හලාවත Nilawin Hotel & Resort පරිශ්‍රයේදී පවත්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා වයඹ හා උතුරු මැද පළාත් නියෝජනය කරමින් අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.
ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ප්‍රාදේශීය අපනයනකරුවන්ට රජයේ ආයතන හා ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සමඟ සෘජු සන්නිවේදන මාර්ගයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. විශේෂයෙන්ම රේගු ක්‍රියාපටිපාටිය, නීතිමය හා පරිපාලනමය ගැටළු මෙන්ම වෙළඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් පවතින අභියෝග සාකච්ඡා කර ඒවාට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා මෙම සමුළුව වැදගත් වේදිකාවක් සැපයීය.
මෙහිදී අපනයනකරුවන් අමතමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, කලාපීය අපනයන වර්ධනයක් ඇති කිරීම සඳහා අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව බවයි. නව අදහස් හා යෝජනා ලබා ගනිමින් අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට මෙම වැඩසටහන මඟින් අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම සමුළුවේ සුවිශේෂී අවස්ථාවක් වූයේ සහභාගී වූ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීමයි. මේ හරහා ග්‍රාමීය නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර වෙළඳපොළ සම්බන්ධතා ලබා දීමටත්, වඩාත් සමානාත්මක අපනයන පද්ධතියක් සහ ශක්තිමත් සැපයුම් දාමයක් ගොඩනැගීමටත් අවශ්‍ය පදනම සකස් විය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් ගිහාන් මහතා, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණි විජේසිංහ මහත්මිය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම්.සිල්වා මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක යන මහත්වරු සහභාගී වූහ. මීට අමතරව රාජ්‍ය ආයතනවල නියෝජිතයන්, වාණිජ බැංකු, සංගම්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ අපනයන සංවර්ධන නිලධාරීහු ද මේ සඳහා එක්ව සිටියහ.
Video Story