July, 6, 2026
ශ්‍රී ලංකාවේ සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්රය නව මානයන් කරා පියනඟමින් සිටින යුගයක, බාර්ටෙන්ඩර් කලාව යනු හුදෙක් පානයක් පිළියෙල කිරීමට එහා ගිය, නිර්මාණශීලිත්වය සහ රසඥතාව මුසු වූ සුවිශේෂී ශිල්පයකි. දිවයිනේ දක්ෂතම බාර්ටෙන්ඩර්වරුන්ගේ අපූර්ව කුසලතාවන් ඇගයීමට ලක් කරමින්, 31 වන ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලියේ (National Bartenders Competition - NBC 2026) අවසන් මහා තරඟය පසුගියදා කොළඹ Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සුවිශේෂී සැඳෑව හැඩගැන්වීමට සහ දේශීය දක්ෂතාවලට ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් නිර්මාණය කර දීමට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සන්නාමයක් වන IDL ආයතනය මෙවරත් පෙරමුණ ගෙන තිබුණි.
ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (SLHGA) සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) එක්ව සංවිධානය කළ මෙම තරඟාවලිය සඳහා IDL ආයතනය අඛණ්ඩව දායකත්වය ලබා දුන් සිව්වන වසර මෙය වන අතර, දේශීය තාරුණ්‍යයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමට සහ මෙරට සංචාරක ක්ෂේත්රයේ දිගුකාලීන වර්ධනය වෙනුවෙන් ඔවුන් දක්වන නොසැලෙන කැපවීම මෙයින් මැනවින් පිළිඹිබු වේ. දිවයින පුරා විසිරී සිටින ප්රමුඛ පෙළේ හෝටල්, නිවාඩු නිකේතන, ආපනශාලා සහ හෝටල් ක්ෂේත්රයේ අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් පැමිණි දක්ෂ වෘත්තිකයන් රැසක් මෙවර තරඟාවලිය සඳහා සහභාගී වූහ. මෙම තරඟාවලිය හුදෙක් එක් රැයකින් නිම වූවක් නොවූ අතර, දිවයිනේ ප්‍රධාන කලාප හයක් ආවරණය කරමින් පැවැත්වුණු පුහුණු වැඩසටහන්, කලාපීය තරඟ, විශේෂ Master Class සහ ජාතික මට්ටමේ අර්ධ අවසන් පූර්ව වට රැසකින් අනතුරුවයි තරඟකරුවන් මෙම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූහ.
මෙම සුවිශේෂී වෘත්තීය වේදිකාව පිළිබඳව අදහස් දක්වමින් IDL ආයතනයේ නියෝජ්‍ය සභාපතිනී ඉන්දු සෙල්වරත්නම් මහත්මිය ප්‍රකාශ කළේ, ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලිය යනු මෙරට බාර්ටෙන්ඩින් වෘත්තීය ක්ෂේත්රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට ලැබුණු කදිම පදනමක් බවයි. මෙවර තරඟාවලියේදී දිවයින පුරා සිටින තරුණ තරුණියන්ගේ ඉහළ නිර්මාණශීලිත්වය, ආත්ම විශ්වාසය සහ තාක්ෂණික කුසලතාවන් දැකගත හැකි වූ බවත්, SLHGA සහ SLITHM ආයතන සමඟ එක්ව මෙවැනි වටිනා අවස්ථාවකට දායකත්වය දැක්වීමට ලැබීම IDL ආයතනයක් ලෙස විශාල ආඩම්බරයක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය. විශේෂයෙන්ම මෙවර තරඟාවලිය සඳහා තරුණියන්ගේ සහභාගීත්වය ඉහළ මට්ටමක පැවතීම, වඩාත් විවෘත හා නව්‍යකරණය වූ ආගන්තුක සත්කාර ක්ෂේත්රයක් නිර්මාණය වීමේ සුබ ලකුණක් බව ද ඇය පෙන්වා දුන්නාය.
එලෙසම, ජාතික බාර්ටෙන්ඩර් තරඟාවලියේ සභාපති ප්‍රදීප් ලියනගේ මහතා සඳහන් කළේ සජීවී කොක්ටේල් (Cocktail) තරඟාවලියක් මඟින් හුදෙක් තාක්ෂණය පමණක් නොව තරඟකරුවෙකුගේ සහජ සංවේදීතා, නිර්මාණශීලිත්වය, රසයන් පිළිබඳ අවබෝධය වගේම දැඩි පීඩනයක් යටතේ වුවත් උපරිම දක්ෂතා දැක්වීමේ හැකියාව ද පරීක්ෂාවට ලක් කෙරෙන බවයි. විශේෂයෙන්ම Black Box ' වටයේදී තරඟකරුවන් තමන්ගේ සැබෑ දක්ෂතාවය මනාව ඔප්පු කළ බවත්, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ සැඟවුණු දක්ෂතා රැසක් මෙවර මතු කර ගැනීමට හැකි වූ අතර මේ සඳහා අඛණ්ඩව සහයෝගය දෙන IDL ආයතනයට සමස්ත ක්ෂේත්රයේම ප්‍රණාමය හිමිවන බවත් ඔහු පැවසීය.
දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම තරඟාවලියේ අවසන් ප්‍රතිඵල ස්වාධීන හා විනිවිදභාවයකින් යුතුව ගණනය කර සහතික කරනු ලැබුවේ ලොව සුප්‍රසිද්ධ 'Ernst & Young' ආයතනය විසිනි. එහිදී සමස්ත ලංකා මට්ටමින් තම අද්විතීය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණ හිමිකරගත් විශිෂ්ටයින් අතරට Waters Edge ආයතනයේ ඩබ්ලිව්. එස්. චතුස්සංක, Jazzeble Colombo හි කේ. ඒ. එස්. ශෙෂාන්, Hilton Yala හි පී. කේ. මුතුකුමාරණ, Cinnamon Wild හි හංසිනී දිල්රුක්ෂි මෙනෙවිය සහ Kai Ahangama හි සනී ඩී. පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. මෙම ජයග්‍රාහකයින් හුදෙක් සම්මානලාභීන් පමණක් නොව, හෙට දවසේ ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්රය ජාත්‍යන්තරය වෙත රැගෙන යන සන්නාම තානාපතිවරුන් වන අතර, රසයේ සහ ශිල්පීය දක්ෂතාවයේ අපූර්ව සංකලනයක් වූ මෙම වටිනා රාත්‍රිය ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්රයේ අනාගතය වඩාත් දීප්තිමත් බවට තැබූ ස්ථිර සහතිකයකි.






Video Story