“බදු ශක්ති 2026” ජාතික බදු සතිය ඇරඹේ

    July, 7, 2026

    රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය (RARMB) විසින් සංවිධානය කරනු ලබන “බදු ශක්ති 2026” ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කරමින්, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක “බදු ශක්ති 2026” වසර පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර එහි සමාරම්භය සනිටුහන් කෙරෙන විශේෂ ජාතික බදු සතිය ජූලි 06 සිට ජූලි මස 10 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වේ.

    ඊට සමගාමීව මාධ්‍ය සහ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර අත් පත්‍රිකා බෙදා හැරීම ආදී විවිධ ප්‍රචාරණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් බදු අනුකූලතාව වර්ධනය කිරීම වෙනුවෙන් මහජනතාව සෘජුවම දැනුවත් කිරීම සිදු කෙරේ.

    මෙම සමාරම්භක අවස්ථාව ඇමතූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ “බදු ශක්ති 2026” යනු හුදෙක් බදු එකතු කිරිමේ ව්‍යාපාරයක් නොව, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික වැඩසටහනක් බවයි.

    ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම, සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද මෙහිදි අදහස් දැක්වූහ.

    ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, බදු ගෙවන්නන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.