තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කළ විශේෂ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතාගේ 2028 ඔලිම්පික් උළෙල දක්වා වූ සියලුම ක්‍රීඩා හා සුභසාධන වගකීම් භාර ගැනීමට Access Solar Pvt Ltd සහ Access Real Estate/Residencies සමාගම් එකඟතාව පළ කර ඇත.
මේ යටතේ රුමේෂ් තරංග එම සමාගම්වල නිල සන්නාම තානාපතිවරයෙකු (Brand Ambassador) ලෙස කටයුතු කිරීමට නියමිත අතර, ඊට අදාළ නිල අවබෝධතා ගිවිසුම (MoU) අද දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන් තබන ලදී.
මෙම ගිවිසුම හරහා 2028 ඔලිම්පික් ඉලක්කය වෙනුවෙන් ක්‍රීඩකයාට සහ පුහුණුකරුට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම්, පෝෂණ සහ අනෙකුත් සියලුම මූල්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට ඇක්සස් සමාගම කටයුතු කරනු ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) සභාපති අසංග චන්දන සෙනෙවිරත්න යන මහත්වරුන් සමඟින් ක්‍රීඩක රුමේෂ් තරංග සහ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතා ද සහභාගී විය. ඇක්සස් සමාගම නියෝජනය කරමින් Access Solar (Pvt) Ltd සහ Access Real Estate (Pvt) Ltd හි කළමණාකාර අධ්යක්ෂ තියෝ ප්‍රනාන්දු, Access Solar හි අධ්යක්ෂ ඉරංග කුරේ සහ Access Real Estate හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මංගල පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.