DIMO ගාල්ලේ දී නවතම සූර්ය බලාගාර හතරක් ආරම්භ කරයි

    July, 7, 2026

    DIMO, ගාල්ල දිස්ත්‍රික්කයේ නව සූර්ය බලාගාර හතරක් සාර්ථකව ආරම්භ කරමින් මෙරට ජාතික විදුලි ජාලයට මෙගාවොට් 18ක පිරිසිදු බලශක්ති ධාරිතාවක් එක් කරමින් සිය  පුනර්ජනනීය බලශක්ති ආයෝජන තවදුරටත් ශක්තිමත් කර ඇත. රත්ගම  සහ අක්මීමන ප්‍රදේශවල පිහිටි මෙම utility-scale සූර්ය බලාගාර, DIMO හට අයත් සම්පූර්ණ අනුබද්ධ සමාගම් මගින් Independent Power Producer (IPP) ව්‍යාපෘති ලෙස සංවර්ධනය කර ඇති අතර, ඒවා මෙරට පුනර්ජනනීය බලශක්ති පුළුල් කිරීමේ ජාතික වැඩපිළිවෙලට ද දායක වේ.

    මෙම ව්‍යාපෘති අතරින් එක් සූර්ය බලාගාරයක් මෙගාවොට් 3ක ධාරිතාවකින් යුක්ත අතර, DIMO Solar Galle (Private) Limited යටතේ ක්‍රියාත්මක වේ. අනෙක් බලාගාර තුන DIMO Solar Galle Two (Private) Limited, DIMO Solar Galle Three (Private) Limited සහ DIMO Solar Galle Four (Private) Limited යටතේ ක්‍රියාත්මක වන අතර, එක් එක් බලාගාරය මෙගාවොට් 5ක ධාරිතාවක් ජාතික ජාලයට එක් කරයි.

    මෙම නව ව්‍යාපෘති සමඟ DIMO හි සම්පූර්ණ සූර්ය බලශක්ති නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 25.845 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සමාගමේ දිගුකාලීන තිරසාර බලශක්ති ආයෝජන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙයි. මෙම බලාගාර හතර එක්ව වසරකට tCO2e 12,945කට අධික කාබන් විමෝචනයක් අඩු කිරීමටත්, පිරිසිදු විදුලි ශක්තිය kWh මිලියන 31.8ක් පමණ නිෂ්පාදනය කිරීමටත් අපේක්ෂා කෙරේ. මෙයින් ගෘහස්ථයන් 37,937කට පමණ විදුලි සැපයුම ලබාදීමට හැකිවීම ද විශේෂත්වයකි.

    බලාගාරවල විශ්වාසදායක හා කාර්යක්ෂම විදුලි උත්පාදනය සඳහා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු සූර්ය පැනල, Smart Transformer Station තාක්ෂණය, ජාලයට සම්බන්ධිත සූර්ය PV පද්ධති සහ නවීන නිරීක්ෂණ පද්ධති භාවිතා කර ඇත.

    මෙම සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් DIMO සමාගමේ විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මෙසේ සඳහන් කළේය."මෙගාවොට් 18ක මෙම නව ධාරිතාවය ශ්‍රී ලංකාවේ තිරසාර හා පුනර්ජනනීය බලශක්ති පරිවර්තනයට DIMO සමාගමේ අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරනවා. මෙම ව්‍යාපෘති, ජාතික විදුලි ජාලය ශක්තිමත් කිරීමට පමණක් නොව, දිගුකාලීන පාරිසරික තිරසාරභාවය සහ ජාතික බලශක්ති ආරක්ෂාව ද ඉදිරියට ගෙන යාමට උපකාරී වෙනවා."

    DIMO හි මෙම ව්‍යාපෘති, දකුණු පළාතේ විශාල පරිමාණ සූර්ය බලශක්ති සංවර්ධනයේ තවත් වැදගත් පියවරක් ලෙස දැක්විය හැකිය.