රු. කෝටි 5ට වඩා වැඩි නව මහල් නිවාසවලට ඇති ඉල්ලුම ඉහළට

    July, 7, 2026

    කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාස සඳහා වන මිල දර්ශකය 2026 වසරේ පළමු කාර්තුවේදී 284.4 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 18.5 ක ඉහළ යාමකි. මිල මෙලෙස ඉහළ ගියද, මහල් නිවාස දේපළ අලෙවි පරිමාව පෙර වසරට වඩා සියයට 15.2 කින් පහත වැටී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණ වාර්තාව මගින් මේ බව අනාවරණය වේ.

    අදාළ සමීක්ෂණයේ දී හෙළිදරව් වූ කරුණුවලට අනුව 2026 පළමු කාර්තුවේ දී, මුළු මහල් නිවාස විකුණුම්වලින් සියයට 65 ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එහිදී රු. මිලියන 50 සිට රු. මිලියන 75 දක්වා මහල් නිවාස සහ රු. මිලියන 75ට වැඩි මහල් නිවාස අලෙවියේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව සමීක්ෂණ ප්‍රතිඵල පෙන්වා දේ. කෙසේවෙතත් රු. මිලියන 25 සිට රු. මිලියන 50 දක්වා මහල් නිවාස අලෙවියේ දී මෙම කාර්තුව තුළ වාර්තා වන්නේ පහළ යාමකි.

    2026 පළමු කාර්තුව සැලකීමේ දී වැඩ නිමකරන ලද මහල් නිවාසවලින් 98%ක් ම මේ වන විට විකිණී අවසන්ව අතර වැඩ නිම වූ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිවල මහල් නිවාසවලින් 81%ක් ම අලවි වී අවසන්ව ඇත. එසේම තවත් කැපීපෙනෙන කරුණක් වන්නේ මේ වන විට වැඩ සිදුවෙමින් පවතින ව්‍යාපෘතිවලින් 51%ක් ම දැනටමත් වෙන්කරවා ගෙන තිබීමයි.

    මෙම මහල් නිවාස මිලදී ගන්නන්ගේ සංයුතිය සලකා බැලීමේදී බහුතරය ශ්‍රී ලාංකික නේවාසිකයින් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් වහාම පදිංචිය සඳහා මෙම නිවාස මිලදී ගෙන ඇත. මිලදී ගන්නන්ගෙන් සියයට 80 ක්ම ඒ සඳහා බැංකු ණය වෙනුවට තමන්ගේම අරමුදල් භාවිතා කර ඇති බව සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ. සංවර්ධකයින් මෙම ව්‍යාපෘති සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් සපයාගෙන ඇත්තේ පූර්ව විකුණුම් තැන්පතු (Pre-sale deposits) මගින් වන අතර එය සමස්ත ප්‍රාග්ධනයෙන් සියයට 48 කි.

    මීට අමතරව, දේපළ වෙළෙඳපොළේ සමස්ත මිල ගණන් ද ඉහළ ගොස් ඇත. 2026 මාර්තු වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් සඳහා වන විමසීම් මිල දර්ශකය (Asking Price Index) වාර්ෂිකව සියයට 31.9 කින් ඉහළ ගොස් තිබේ. එම කාලය තුළම නිවාස සහ මහල් නිවාස සඳහා වන විමසීම් මිල ගණන් පිළිවෙළින් සියයට 6.4 කින් සහ සියයට 11.0 කින් ඉහළ ගොස් ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් 2017 වසරේ තුන්වන කාර්තුවේ දී සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණය ආරම්භ කරන ලදී. සහාධිපත්‍ය අංශය මගින් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුකරන දායකත්වය සැළකිල්ලට ගෙන එම වෙළඳපොළ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීමේ අරමුණෙන්, කාර්තුමය පදනමෙන් මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි. මෙම සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකා සහාධිපත්‍ය ඉදිකරන්නන්ගේ සංගමයේ සාමාජිකයන් මෙන්ම වෙළඳපොළේ අනෙකුත් සහාධිපත්‍ය ඉදිකරන්නන් සහභාගී වේ. සමීක්ෂණ‍යෙන් ලබා ගන්නා දත්ත උපයෝගී කොටගෙන, අලුතින් ඉදිකරනු ලබන සහාධිපත්‍ය වලට අදාල මිල දර්ශකයක් සම්පාදනය කරනු ලබයි.

    තවද, සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් දේපළ විකිණීම් සඳහා වන වෙබ් අඩවි ඔස්සේ නේවාසික දේපළ වෙළඳාම්වල ඉල්ලුම් මිල ගණන්  ද රැස් කරනු ලබන අතර,  එම දත්ත පදනම් කොටගෙන සහාධිපත්‍ය, නිවාස සහ ඉඩම් සඳහා ඉල්ලුම් මිල දර්ශක සම්පාදනය කරනු ලබයි.

    2022 වසරේ පළමු කාර්තුවේ සිට සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණයේ සංක්ෂිප්ත තොරතුරු සහ ඉහත සඳහන් මිල දර්ශක ඇතුලත් වන කාර්තුමය වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලබයි.

    - සිසිර කන්නන්ගර විසිනි

    2026 පළමු කාර්තුවට අදාල නවතම වාර්තාව පහතින් දැක්වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates