කොටස් වෙළෙඳපොළ ඒකක 22,000න් පහළට

    July, 7, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (07) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 118.35ක පහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 21,962.30ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 31.55ක පහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,135.50ක් ලෙසින් සටහන්ව තිබුණි.

    සියලු කොටස් මිල දර්ශකය පසුගිය ජූනි 12 දිනෙන් පසු ඒකක 22,000 සීමාවෙන් මෙපිට නතර වූ පළමු අවස්ථාව අද (07) වේ.

    ඩයලොග් ආසියාටා සහ මෙල්ස්ටාකෝප් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට දිනය තුළ බෙහෙවින් හේතු වූ අතර ඊට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කාර්සන්ස් කම්බර්බැච්, CIC සහ NDB, HNB හා සම්පත් යන බැංකු සමාගම්වල කොටස් මිල පහළ යාම් ද මිල දර්ශකවල පහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

    දිනය තුළ රු. බිලියන 1.53ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. එහිදී ගිවිසාගනු ලැබූ ගනුදෙනු කිහිපයක් හරහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි රු. මිලියන 264ක පිරිවැටුමක් වාර්තා වී තිබීම ඉහළ දායකත්වයක් දෙනු ලැබීය. සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු ද ඇතුළුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනු වෙතින් රු. මිලියන 306ක පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. මීට අමතරව ගිවිසාගනු ලැබූ ගනුදෙනු ද සහිතව සතොස මෝටර්ස් සමාගමෙන් රු. මිලියන 126ක පිරිවැටුමක් වාර්තා වී තිබුණු අතර සෙසු සියලු සමාගම්වල ගනුදෙනු පිරිවැටුම් දිනය තුළ රු. මිලියන 100ට වඩා පහළ මට්ටමක විය.

     

    Video Story

    Stock Market

    Exchange Rates