කොටස් වෙළෙඳපොළ අද ඒකක 133කින් පහළට

    July, 8, 2026

    අඛණ්ඩව දෙවන දිනයටත් ඒකක 100ක් ඉක්මවූ පහළ යාමක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 133.80කින් අද (08) දින පහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,828.50ක් ලෙසින් වාර්තා විය.

    දිනය තුළ S&P SL20 දර්ශකය ඒකක 35.98කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,099.52ක් ලෙසින් සටහන්ව තිබුණි.

    සමාගම් 152ක කොටස් මිල ගණන් ඊයේ (07) දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබුණු අතර එහිදී සම්පත් බැංකුව, හේලීස්, ඩයලොග්, LOLC හෝල්ඩිංග්ස් හා මෙල්ස්ටාකෝප් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට බෙහෙවින් බලපා තිබුණි.

    මිල දර්ශකවල පහළ යාමක් වාර්තා වුව ද පසුගිය දිනවලට සාපේක්ෂව ආයෝජක ක්‍රියාකාරීත්වයේ යම් තරමක සක්‍රීය ස්වභාවයක් දිනය තුළ දක්නට ලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් රු. බිලියන 2.25ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වුණි. එහිදී රේණුකා ෆුඩ්ස් (රු.මි. 450), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු.මි. 433), EB Creasy & Co. (රු.මි. 167), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (රු.මි. 162) සහ ඩයලොග් ආසියාටා (රු.මි. 101) යන සමාගම්වලින් රු. මිලියන 100 ඉක්මවූ පිරිවැටුම් වාර්තා වී තිබුණි.