July, 10, 2026
මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින් තවදුරටත් අඩුවෙන් වියදම් කරනු ලබන සංචාරකයින් නොවන බවත්, අද වන විට මෙරට සංචාරකයෙකුගේ දෛනික සාමාන්‍ය වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉන්දීය සංචාරකයෙකු දෛනිකව වියදම් කරනු ලබන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. මෙරට සංචාරකයෙකුගේ දෛනිකව වියදම් කරන මුදල සාමානයෙන් ඩොලර් 148ක් වන නමුත් ඉන්දීය සංචාරකයෙකු දෛනිකව ඩොලර් 154ක මුදලක් වියදම් කරනු ලබන බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා,
“දැනට අපිට ඉන්දියන් සංචාරකයෙක්ගෙන් ඩොලර් 154ක වගේ දිනක ආදායමක් හම්බුවෙනවා. ඒක ඇත්තටම මෙරට සංචාරකයෙක් දෛනිකව වියදම් කරන සාමාන්‍යයට වඩා වැඩියි. අපේ සංචාරකයෙක්ගේ දෛනික වියදම් කරන සාමාන්‍ය ඩොලර් 148ක්. ලංකාවේ ජනප්‍රිය මතයක් තියෙනවා, ඉන්දීය සංචාරකයෝ ආවාට ආදායම අඩුයි කියලා. ඇත්තටම ඉන්දීය සංචාරකයෝ කියන්නේ අඩු ආදායම් සංචාරකයෝ නෙමෙයි. සමහර යුරෝපීය සංචාරකයින්ට වැඩියෙන් ඉන්දීය සංචාරකයෝ දවසකට වියදම් කරනවා.“
මේ අතර මේ වන විට ඉන්දියාවේ තවත් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කර ඇති බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
“ඉන්දියාවේ ගුජරාට් වගේ පැතිවලට අපේ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල ව්‍යාප්ත කළා. සුරජ්, රාජ්පුත් සහ අහමදාබාද් කියන නගර ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් කළා. මීට අමතරව අපේ සම්ප්රදායක ගමනාන්ත වන දකුණු ඉන්දියානු ප්‍රදේශ, මුම්බායි සහ දිල්ලිවල අපි පටන් ගත්තා Weddings සහ අනෙකුත් High-end tourism සඳහා වන promotions.“
2026 ජූලි 08 වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,192,705ක් වන අතර එයින් 304,294ක් හෙවත් 25%ක්ම ඉන්දීය සංචාරකයින් වේ.
Video Story