ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobile Banking Wallet පදනම් වූ Tap & Pay සේවාව හඳුන්වා දෙයි

    July, 10, 2026

    ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව, ඩිජිටල් බැංකුකරණයේ නව යුගයක් සනිටුහන් කරමින් BOC Flex - Tap & Pay සේවාව හඳුන්වා දීම පසු ගිය දා සිදු කෙරිණි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobile Banking Wallet පදනම් වූ ස්පර්ශ රහිත ගෙවීම් විසඳුම වේ.

    2025 මාර්තු මාසයේ දී ලංකා බැංකුව විසින් නව පරපුරට සරිලන සිය Internet & Mobile Banking සේවාව වන BOC Flex සාර්ථක ව හඳුන්වා දෙන ලදී. මේ හරහා ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකුකරණ සේවාවක් ලබා දීම මඟින් ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයට අඛණ්ඩ ව නායකත්වය ලබා දී ඇත. 2026 ජූලි 9 වන දින Tap & Pay සේවාව දියත් කිරීම, මෙම ගමන් මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ගනුදෙනුකාර භවතුන්ට BOC Flex හරහා සිය ගෙවීම් කටයුතු ආරක්ෂිත ව හා පහසුවෙන් සෘජු ව ම සිදු කර ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.

    BOC Flex - Tap & Pay සේවාවේ සමාරම්භක උත්සවයට ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු, Master Card ආයතනයේ නිලධාරීහු සහ ලංකා බැංකුවේ සභාපති තුමා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය, මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි තුමා ඇතුළු ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ රැසක් එක් වූහ.

    Tap & Pay මඟින් අන්තර්ජාලය ආශ්‍රිත Virtual කාඩ් පත් තාක්ෂණය සමඟ ඒකාබද්ධ වූ ආරක්ෂිත Digital Wallet සේවාවක් හඳුන්වා දුන් අතර, එමඟින් ගනුදෙනුකරුවන්ට NFC සක්‍රීය POS (Point of Sale) පර්යන්ත හරහා ගෙවීම් සිදු කළ හැක. තව ද BOC Flex App හරහා සෘජු ව ම මාර්ගගත (Online) ගෙවීම් කටයුතු සිදු කර ගැනීමට ද අවකාශය සකසා තිබේ.

    මෙම අවස්ථාවට එක් වෙමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා මෙසේ පැවසුවේ ය.

    “ලංකා බැංකුව සිය ගනුදෙනුකාර භවතුන්ට සහ ශ්‍රී ලාංකේය ජාතියට අර්ථවත් වටිනාකම් නිර්මාණය කරන නවෝත්පාදන සඳහා නිරන්තරයෙන් ආයෝජනය කරමින් බැංකුකරණ ක්ෂේත්‍රයේ අනාගතය ප්‍රශස්ත කිරීමට කැප වෙනවා. මෙම Tap & Pay සේවාව හඳුන්වා දීම, ඩිජිටල් තාක්ෂණයෙන් බල ගන්වන ලද, මූල්‍යමය අන්තර්ගත භාවයෙන් යුත් ආර්ථිකයක් ගොඩ නැංවීම වෙනුවෙන් අපගේ උපාය මාර්ගික දැක්ම පිළිබිඹු කරන බව පැවසිය යුතු ම යි . රටේ ප්‍රමුඛතම බැංකුව ලෙස, නවතම තාක්ෂණික ක්‍රමවේද වැළඳ ගැනීමට වගේ ම, ආරක්ෂිත, පහසු හා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ මූල්‍ය සේවා හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට නායකත්වය ලබා දීම අපි අපගේ වගකීමක් කොට සලකනවා. මෙම සන්ධිස්ථානය, ගනුදෙනුකාර භවතුන්ගේ අත්දැකීම් අඛණ්ඩ ව වර්ධනය කරමින්, රජයේ ඩිජිටල් ආර්ථික න්‍යාය පත්‍රයට සහයෝගය ලබා දීම සඳහා අපගේ කැපවීමට හොඳ ම සාක්ෂියක්.”

    මේ පිළිබඳ ව අදහස් දක්වමින්, ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා පැවසුවේ,

    “හඳුන්වා දෙන නවෝත්පාදන සෑම ගනුදෙනුකාර භවතෙකුට ම සරල, ආරක්ෂිත සහ වඩාත් පහසු විය යුතු බව ලංකා බැංකුවේ අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Banking Wallet සේවාව මත පදනම් වූ Tap & Pay සේවාව හඳුන්වා දීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේ ම එය රටේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් මේ අවස්ථාවේ දී සිහිපත් කිරීමට කැමතියි. මෙම සේවාව ශ්‍රී ලංකාව නවීන ඩිජිටල් මූල්‍ය සේවා සහිත ආර්ථිකයක් කරා ගෙන යාමට සහාය වන අතර ම ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් අපගේ ගනුදෙනුකාර භවතුන් වෙත ලබා දීම සඳහා අපගේ අඛණ්ඩ කැප වීම පිළිබිඹු කරන බවත් අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙනි.

    BOC Flex Wallet මඟින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඩිජිටල් මූල්‍ය කළමනාකරණය සඳහා ආරක්ෂිත සහ පහසු ක්‍රමවේදයක් සපයයි. එමෙන් ම ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම්වලින් අදාළ Digital Wallet සේවාවට මුදල් මාරු කිරීමට, බිල්පත් ගෙවීමට, ලංකා බැංකු ගිණුම්වලට මුදල් මාරු කිරීමට සහ BOC ක්‍රෙඩිට් කාඩ් පත්වලට අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීමට හැකියාව ලබා දෙයි. BOC Flex Virtual කාඩ් පත සඳහා අරමුදල් මූලාශ්‍රය ලෙස ද මෙම Digital Wallet සේවාව ක්‍රියා කරන අතර, එමඟින් ආරක්ෂිත, ස්පර්ශ රහිත ගෙවීම් සක්‍රීය කිරීම විශේෂිත ය. එමෙන් ම මෙම Digital Wallet සේවාවේ ශේෂය ප්‍රමාණවත් නොවන විට Built In Auto Top - Up පහසුකම මඟින් සම්බන්ධිත ලංකා බැංකු ගිණුමකින් ස්වයංක්‍රීය ව මුදල් ලබා දෙන අතර, මේ නිසා අදාළ සේවාව හරහා අඛණ්ඩ ව ගෙවීම් කටයුතු සිදු කිරීමේ හැකියාව සහතික කරයි.

    BOC Flex Virtual කාඩ් පත NFC සක්‍රීය POS පර්යන්තවල භාවිත කිරීමේ හැකියාව ලබා දීමෙන් සහ ආරක්ෂිත මාර්ග ගත (Online) මිල දී ගැනීම් සිදු කිරීමේ හැකියාව ‍ප්‍රශස්ත කිරීම මගින් ගනුදෙනුකරුවන්ට වැඩි නම්‍යශීලී බවක් හා වැඩිදියුණු කළ ආරක්ෂාවක් ලබා දීම විශේෂිත වන අතර, ගනුදෙනුකරුවන්ට Virtual කාඩ් පත් තුනක් දක්වා නිර්මාණය කර කළමනාකරණය කිරීමේ හැකියාව ලබා දීම ද සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස හඳුන්වා දිය හැකි ය. ස්වයං සේවා ක්‍රියාකාරිත්වය හරහා කාඩ් පත් ක්ෂණික ව අත්හිටුවීමට, නැවත සක්‍රීය කිරීමට සහ අවශ්‍ය විටෙක මුදල් බාධාවකින් තොර ව මාරු කිරීමට හැකි වීම මෙම සේවාවේ දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්ෂණ වේ.

    BOC Flex - Tap & Pay සේවාව හඳුන්වා දීම, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ප්‍රචලිත කිරීම වේගවත් කිරීමේ ක්‍රියාවලියට සහ ආරක්ෂිත මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමේ ජාතික න්‍යාය පත්‍රයට අනුකූල වේ. සරල, විශ්වසනීය මෙන් ම කාඩ් පත් රහිත ගෙවීම් ක්‍රමවේද සක්‍රීය කිරීම හරහා මෙම සේවාව රට පුරා මුදල් රහිත ගනුදෙනු වැඩි වශයෙන් භාවිත කිරීම දිරිමත් කරන අතර, මූල්‍ය අන්තර්ගත භාවය ප්‍රවර්ධනය කරයි.

    ඉන්දියාව, මාලදිවයින, සීෂෙල්ස් සහ එක්සත් රාජධානිය යන රටවල සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය සනිටුහන් කර ඇති ලංකා බැංකුව, ශාඛා, BOC Connect නියෝජිත සේවා මධ්‍යස්ථාන, Digi මධ්‍යස්ථාන, ATM, CRM හා CDM යන්ත්‍ර ඇතුළු ශ්‍රී ලංකාව පුරා ස්ථාපිත 2,500කට අධික සිය ගනුදෙනුකාර සම්බන්ධතා මධ්‍යස්ථාන ජාලය හරහා ගනුදෙනුකරුවන් වෙත අඛණ්ඩ සේවාවක් ලබා දෙයි. එමෙන් ම ලොව ඉහළ ම බැංකු සන්නාම 500 අතරට තේරී පත් වීම මෙන් ම ශ්‍රී ලංකාවේ වටිනා ම සන්නාමය ලෙස නම් කිරීම ද විශිෂ්ටත්වය වෙනුවෙන් ලංකා බැංකුවේ කැපවීමට හොඳ ම උදාහරණයකි.

    පසු ගිය දා සිංගප්පූරුවේ පැවති 2026 Digital CX සම්මාන උළෙලේ දී ඇගයීමට ලක් වීම, ලංකා බැංකුවේ ඩිජිටල් නායකත්වයට ගෝලීය පිළිගැනීමක් ලබා දුන් සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි අතර, එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබූ පළමු ශ්‍රී ලාංකික බැංකු යෙදුම බවට BOC Flex පත් විය. ඊට අමතර ව එහි දී ගනුදෙනුකාර අත්දැකීම් සහ ඩිජිටල් බැංකුකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් කීර්තිමත් සම්මාන තුනක් දිනා ගැනීමට ලංකා බැංකුව සමත් වීම ද සුවිශේෂී ජයග්‍රහණයකි. එමෙන් ම 2025 වසරේ දී ජාතික ICT සම්මාන, ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන සහ LankaPay Technovation සම්මාන යන සම්මාන උළෙලවල දී ලංකා බැංකුවේ ඩිජිටල් විශිෂ්ටත්වය ඇගයීමට ලක් වූ අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ පරිවර්තනය තුළ ලංකා බැංකුවේ පුරෝගාමී භූමිකාව තවදුරටත් ශක්තිමත් කරයි.

    BOC Flex - Tap & Pay සේවාව හඳුන්වා දීම ලංකා බැංකුවේ ඩිජිටල් පරිවර්තනීය ගමන් මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සේවාවල අනාගතය ප්‍රශස්ත කරමින් නවතම, ආරක්ෂිත මෙන් ම ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකු සේවා ලබා දීම සඳහා ලංකා බැංකුවේ කැපවීමේ සාර්ථකත්වය නැවත නැවතත් තහවුරු කරයි.