නෙස්ලේ ලංකා සමාගම, සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලිය හරහා නිසි අපද්‍රව්‍ය කළමනාකරණය දිරි ගන්වයි

    July, 10, 2026

    මධ්යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලිය සංවිධානය කරයි

    නෙස්ලේ ලංකා සමාගම, මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින් සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලියක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. 2026 ලෝක පරිසර දිනයට සමගාමීව ‘නිසි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වෙමු’ යන තේමාව යටතේ මෙම කෙටි වීඩියෝ තරඟාවලිය පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ අනාගත පරපුර තුළ නිවැරදි ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා නෙස්ලේ ලංකා සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනෙහි තවත් එක් පියවරක් ලෙස මෙම තරඟාවලිය සඳහන් කළ හැකිය.

    දීප ව්‍යාප්තව පවත්වනු ලැබූ තරඟාවලිය තුලින් ජයග්‍රහණය කළ අය ඇගයීමට සහ ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා වූ විශේෂ උත්සවයක් 2026 ජූනි 25 වන දින මධ්‍යම පරිසර අධිකාරී පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පාරිසරික අධ්‍යක්ෂිකා ආශා ද සිල්වා මහත්මිය සහ නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික සබඳතා හා සන්නිවේදන අධ්‍යක්ෂ රුවන් වැලිකල මහතා එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා “කෙටි වීඩියෝ තරඟාවලියක් පාසල් සහ විවෘත අංශ යටතේ පැවැත්විණි. පාරිසරික දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් ඉතා හොඳ උත්සාහයක් ලෙස මෙය අගය කළ හැකිය. සියලු දෙනාගේ ආකල්පවල ධනාත්මක වෙනසක් ඇති කරමින් පරිසරය සුරක්ෂිත කිරීමටත්, එය අපගේ අනාගත පරපුරට භාරදීමේ වගකීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙවැනි දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඉතා ප්‍රයෝජනවත් වේ” යනුවෙන් පැවසීය.

    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා සඳහන් කර සිටියේ “දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වී ඇති මෙවන් අවස්ථාවක, ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සක්‍රීයව සම්බන්ධ කරගනිමින් ඔවුන් සවිබල ගැන්වීමට මෙම වැඩසටහන ප්‍රබල වේදිකාවක් සපයයි. ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට අවකාශ ලබාදීම තුළින්, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට පමණක් නොව, තිරසාරත්වයේ වැදගත්කම අගය කරන අනාගත පරපුරක් ගොඩනැගීමටද අප දායක වෙමු. මෙම වැදගත් වැඩසටහන සඳහා නෙස්ලේ ලංකා සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපි මහත් සතුටට පත් වෙමු” යනුවෙනි.

    නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික සම්බන්ධතා සහ සන්නිවේදන අධ්‍යක්ෂ රුවන් වැලිකල මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පවසා සිටින ලදී. “නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීමේ සහ එකතු කිරීමේ පද්ධති ශක්තිමත් කිරීමට මෙන්ම කුඩා කල සිටම යහපත් පුරුදු ඇති කිරීමට වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. තරුණ පරපුරට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදෙමින් සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව වැඩි දැනුවත්භාවයක් හා ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සඳහා සංවිධානය කෙරුණු සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟයට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ සිය 120 වන වසර සමරන අද දවසේ මෙවැනි වැඩපිළිවෙළ මඟින් පිළිබිඹු වන්නේ දැනුවත් කිරීම් සහ අධ්‍යාපනය හරහා ප්‍රජාවන් වෙනුවෙන් හවුල් වටිනාකම් නිර්මාණය කිරීමටත්, චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමටත් අප තුළ ඇති අඛණ්ඩ කැපවීමයි. තරඟයට සහභාගී වූ සහ ජයග්‍රහණය කළ සැමටම මගේ සුභ පැතුම් එක් කිරීමටත් මෙය අවස්ථාවක් කොට ගන්නවා.”

    මෙම තරඟයට ඉදිරිපත් වූ නිර්මාණ ඇගයීමට ලක්කෙරුණේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසිනි.  කැලණිය විශ්වවිද්‍යාලයේ මානුෂීය ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක, ජ්‍යෙෂ්ඨ පරිසර මාධ්‍යවේදී අනුරාධ දේවප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී මහේෂ් චතුරංග යන මහත්වරු ඇතුළත් වූහ.

    කෙටි වීඩියෝ තරඟාවලියේ විවිධ අංශයන්හි ජයග්‍රාහකයෝ

    පාසල් ඒකල අංශය - 1 වන ස්ථානය - බිනදි ජිහන්සා බස්නායක, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය

    පාසල් ඒකල අංශය - 2 වන ස්ථානය - යූ. ජේ. සයුනි තරුමින්දි, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය

    පාසල් කණ්ඩායම් අංශය - 3 වන ස්ථානය - තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ ජේ.වී. කුලන්සා සනුලි, කේ. එම්. තෙනුකි තෙහන්සා, ඩබ්. පී. තෙනුරි තිමාශා, තනූෂ දුල්මිණ, එම්. කේ. නදීජ තේශාන්

    වර්තමාන හා අනාගත පරම්පරාවන් සඳහා මෙන්ම සියලු දෙනාගේ ජීවන තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් නෙස්ලේ වසර 120ක් තිස්සේ මුල් ළමා විය සිට මහලු විය දක්වා ශ්‍රී ලාංකික පවුල්වල සියලු පරම්පරාවන් උසස් තත්වයේ ආහාර පානයන්ගෙන් පෝෂණය කිරීමට සමත්ව ඇත. සෞඛ්‍ය සම්පන්න පවුල්, සවිබල ගැන්වූ ප්‍රජාවන් සහ වඩාත් හරිත ග්‍රහලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් නිරන්තරයෙන් කැපවී සිටින නෙස්ලේ ලංකා සමාගම සිය නිෂ්පාදනවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉහළම ආරක්ෂිත සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව කුරුණෑගල පිහිටි ඔවුන්ගේ අතිනවීන කර්මාන්තශාලාවේ දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.

     

    ඡායාරූප විස්තරය - වමේ සිට දකුණට - රුවන් වැලිකල මහතා - ආයතනික කටයුතු සහ සන්නිවේදන අධ්‍යක්ෂ, නෙස්ලේ ලංකා සමාගම, ගරු ඇන්ටන් ජයකොඩි මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය, මහාචාර්ය තිලක් හේවාවසම් මහතා - සභාපති, මධ්‍යම පරිසර අධිකාරිය, ආශා ද සිල්වා මහත්මිය - නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (කෘෂිකර්ම හා පරිසර), අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, නිසංගි රම්මණ්ඩල මහත්මිය - සහකාර කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍යාමලී පේරියප්පෙරුම මහත්මිය - නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අපද්‍රව්‍ය කළමනාකරණ), මධ්‍යම පරිසර අධිකාරිය, එස්. එම්. සේනානායක මහතා - නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම්), මධ්‍යම පරිසර අධිකාරිය, අජිත් හේරත් මහතා - අධ්‍යක්ෂ (පරිසර ආරක්ෂණ), මධ්‍යම පරිසර අධිකාරිය, තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයතනුෂ දුල්මිණ - දෙවන අනු ශූරතාවය (පාසල් කණ්ඩායම් අංශය), තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය යූ. ජේ. සයුනි තරුමින්දි - පළමු අනු ශූරතාවය (පාසල් ඒකල අංශය) - තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය, බිනාදි ජිහන්සා බස්නායක - ජයග්‍රාහිකාව (පාසල් ඒකල අංශය)