සම්පත් බැංකුව, World Finance Banking Awards හිදි ගෞරවනිය සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

    July, 13, 2026

    ලෝක මුල්‍ය බැංකු සම්මාන උළෙලේ දී (World Finance Banking Awards 2026) ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව, විශිෂ්ටතම වාණිජ බැංකුව සහ විශිෂ්ටතම ආයතනික යහපාලනය යන ක්ෂේත්‍රයන්ට  අදාළ ගෞරවනීය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සම්පත් බැංකුව සමත් වී තිබේ.‍ ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ප්‍රකාශනයක් වන එක්සත් රාජධානියේ පිහිටි World Finance සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී කාර්ය සාධනය, නවෝත්පාදනය, නායකත්වය, පාරිභෝගික වටිනාකම, දිගුකාලීන තිරසාරභාවය සහ හොඳම ආයතනික යහපාලනය යනාදී අංශවල විශිෂ්ටත්වය පෙන්නුම් කරන ආයතන ඇගයීමට ලක් කෙරේ.

    මෙම ඇගයීමත් සමග, සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව සහ විශිෂ්ටතම වාණිජ බැංකුව ලෙස පිදුම් ලැබූ 12 වැනි අවස්ථාව මෙය වන අතර, රටපුරා සිටින පාරිභෝගිකයන්ගේ සිට ව්‍යවසායකයින්, ආයතනික ගනුදෙනුකරුවන් සහ ප්‍රජාවගේ වෙනස් වන අවශ්‍යතාවන් සපුරාලීමේ තිරසාර හැකියාව ද පිළිබිඹු කරයි. එමෙන්ම, විශිෂ්ටතම ආයතනික යහපාලනය (Best Corporate Governance – Sri Lanka 2026) යන සම්මානය හිමි කරගැනීම ඔස්සේ වගවීම, විනිවිදභාවය, සදාචාරාත්මක නායකත්වය සහ වගකීම් සහගත පාලනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගෙන යාම සඳහා සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම ද මනාව ඉස්මතු වේ.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ‘‘World Finance සම්මාන ත්‍රිත්වයකින් සම්පත් බැංකුව පිදුම් ලැබීම, අපගේ ගමන්මගෙහි තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මෙම ජයග්‍රහණය සඳහා පදනම වී ඇත්තේ අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම, අපගේ කොටස්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයයි. මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුවට සහ වාණිජ බැංකුවට හිමි සම්මාන මගින්, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන නවීන මුල්‍ය විසඳුම් සහ වටිනාකම් අඛණ්ඩව ලබා දීමට අප සතු හැකියාව පෙන්නුම් කරනවා. එමෙන්ම හොඳම ආයතනික යහපාලනයට සම්මානය හරහා අප ගනු ලබන සෑම තීරණයකම වගවීම, විනිවිදභාවය සහ යහපත් මූලධර්ම අඩංගු වන බවට තහවුරු වෙනවා. මෙම ජයග්‍රහණයන් සමග, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට දායක වෙමින්, ශක්තිමත් සහ අනාගතවාදී මුල්‍ය ආයතනයක් වශයෙන් අප ගොඩනැගීමට කැප වී කටයුතු කරනවා’’

    මුල්‍ය කාර්යසාධනය, නවෝත්පාදනය, මෙහෙයුම් විශිෂ්ටත්වය, පාරිභෝගික අත්දැකීම්, තිරසාරභාවය, නායකත්වය සහ ආයතනික පාලනය යන කරුණු පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් හරහා තක්සේරු කරමින්, World Finance සඟරාව විසින් මෙලෙස මුල්‍ය ආයතන ඇගයුමට ලක් කරනු ලබයි. World Finance සම්මානයන් හි ගෝලීය දැක්ම සහ පුළුල් නිර්ණායක මත ජාත්‍යන්තර බැංකු ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය සහ පිළිගත් මිණුම් දණ්ඩක් වශයෙන් ස්ථාපිත වී තිබේ.

    ආයතනික යහපාලනය සඳහා සම්පත් බැංකුවට හිමි වූ මෙම පිළිගැනීම, ශක්තිමත් අධ්‍යක්ෂ මණ්ඩල අධීක්ෂණය, ක්‍රියාශීලී අවදානම් කළමනාකරණ ක්‍රමවේද සහ වගකීම් සහගත හා සදාචාරාත්මක හැසිරීම ප්‍රමුඛ කරගත් ආයතනික සංස්කෘතියකින් සමන්විත ඒකාබද්ධ පාලන රාමුවේ හැකියාවන් පිළිබිඹු කරයි. එමෙන්ම, කඩිනමින් වෙනස්වන මුල්‍ය ක්ෂේත්‍රයක් තුළ බැංකුවේ ස්ථාවරත්වය සහ කොටස්කරුවන් සඳහා තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමේ හැකියාව ද අඛණ්ඩව ශක්තිමත් වේ.

    දශකයකට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ කාර්ය සාධනය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් හඳුනා ගනිමින් මෙම ද්විත්ව බැංකුකරණ සම්මානයන් පිරිනමනු ලබයි. මෙකී කාලය පුරාවට සම්පත් බැංකුව සිය ඩිජිටල් හැකියාවන් ශක්තිමත් කිරීම, මුල්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, ව්‍යාපාර වර්ධනයට සහාය වීම සහ ජාතික ආර්ථික සංවර්ධනයට දායක වෙමින් පාරිභෝගික අපේක්ෂාවන් ඉටු කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ.

    මෙම සම්මාන ත්‍රිත්වය ආයතනික යහපාලනය, තිරසාරභාවය සහ වගකීම්සහගත බැංකුකරණය යන අංශයන්වල සම්පත් බැංකුව ලබා ගෙන ඇති කීර්තිමත් පිළිගැනීමේ ඉතිහාසයට එක් වන අතර, ආසියාවේ ආයතනික වගකීම් සඳහා හොඳම බැංකුව සහ 2025 දී යුරෝමනි විසින් ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව වැනි සම්මාන ද ඊට ඇතුළත් වේ.

    එම සියලු ජයග්‍රහණයන් සමගින් ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් ලෙස සම්පත් බැංකුවේ ආයතනික යහපාලනය, වගකීම්සහගත බැංකුකරණය සහ පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදනයන් තුළින් දිගුකාලීන වටිනාකමක් ලබා දීමට දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ.