එදිනෙදා බැංකුකරණය සවිබල ගන්වමින් DFCC ONE වෙතින් නව ඩිජිටල් පෙරළියක්

    July, 14, 2026

    ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, DFCC බැංකුව සිය සුවිශේෂී 'DFCC ONE' ඩිජිටල් බැංකුකරණ වේදිකාව තවදුරටත් සන්නද්ධ කරමින් නවීනතම විශේෂාංග රැසක් හඳුන්වා දී ඇත. ඕනෑම ඩිජිටල් උපාංගයක් හරහා බාධාවකින් තොරව ක්‍රියාත්මක වන මෙම නවීකරණයන්, ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය පරිපාලනය වඩාත් ස්වාධීන, සුරක්ෂිත සහ සරල ලෙස හැසිරවීමට ඉහළම මට්ටමේ පහසුකම් සලසා දෙයි.

    මෙම නවතම යාවත්කාලීන කිරීම් අතර ප්‍රධානතම අංගය වන්නේ 'DFCC ONE Online' නිල වශයෙන් දියත් කිරීමයි. ඕනෑම උපාංගයක් හරහා එකම ආකාරයේ හුරුපුරුදු බැංකුකරණ අත්දැකීමක් ලබාදීම සඳහා මෙය නිර්මාණය කර ඇත. ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ දැනට පවතින DFCC ONE App පරිශීලක නාමය (User name) සහ මුරපද (Password) භාවිතයෙන්ම මෙයට පිවිසිය හැකි අතර, එහි ඇති සරල අතුරු මුහුණත (User Interface) නිසා, App එක  භාවිත කරනවා සේම ඉතා පහසුවෙන් 'DFCC ONE Online' ඔස්සේ ද ඩිජිටල් බැංකු කටයුතු සිදු කරගත හැක.

    DFCC ONE පද්ධතිය වඩාත් පූර්ණ ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ලෙස තවත් ශක්තිමත් කරමින් හඳුන්වා දුන් නවතම විශේෂාංග යටතේ ගනුදෙනුකරුවන්ට දැන් ඕනෑම තැනක සිට, ඕනෑම වේලාවක DFCC ONE App මඟින් සෘජුවම රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම සලසා ඇති අතර මේ නිසා දඩ මුදල් ගෙවීම සඳහා කාර්යාල වෙත යාමට අවශ්‍ය නොවන බැවින් කාලයද ඉතිරි වේ. එසේම, සුළු පරිමාණ ව්‍යාපාරිකයින් දිරිමත් කරමින් තනි පුද්ගල ව්‍යාපාරික ගිණුම් DFCC ONE App සමඟ සම්බන්ධ කිරීමටද බැංකුව පහසුකම් සලසා ඇත. මේ හරහා පුද්ගලික සහ ව්‍යාපාරික ගිණුම් ද්විත්වයම එකම තිරයකින් බලාගත හැකි අතර QR ගෙවීම්, මුදල් හුවමාරු කිරීම්, බිල්පත් ගෙවීම් සහ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීම් වැනි සියලුම ගනුදෙනු එකම පද්ධතියක් හරහා සිදු කළ හැකිය.

    මීට අමතරව, QR කේත භාවිතයෙන් ක්ෂණිකව මුදල් හුවමාරු කර ගැනීමට හැකි වන පරිදි Person-to-Person Fund transfer පහසුකමද මෙහිදී වැඩිදියුණු කර ඇත. එහිදී ගනුදෙනුකරුවන්ට තමන්ටම අනන්‍ය වූ QR කේතයක් හුවමාරු කර ගනිමින්, රුපියල් 5,000/- දක්වා එදිනෙදා මුදල් හුවමාරු කිරීම් ඉතා ඉක්මනින් සහ ආරක්ෂිතව සිදු කර ගත හැක. එමෙන්ම, DFCC ONE පරිශීලකයින්ට LankaQR පහසුකම සහිත වෙළෙඳසැල් වෙත DFCC ONE App ‘Scan & Pay’ ක්‍රමය ඔස්සේ වේගවත් හා ආරක්ෂිත ලෙස ගෙවීම් සිදු කිරීමේ අවස්ථාවද මේ සමඟ උදාවේ.

    DFCC ONE App සහ අලුතින් හඳුන්වා දුන් DFCC ONE Online පද්ධතිය යන දෙකම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාව පුරා සිටින ගනුදෙනුකරුවන්ට එය වඩාත් සමීප වේ. මෙම පද්ධති ද්විත්වය හරහාම ඉතුරුම් ගිණුම් සහ ස්ථාවර තැන්පතු ආරම්භ කිරීමටද, DFCC ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් බිල්පත් ගෙවීමටද පහසුකම් සලසා ඇත.

    මෙම සුවිශේෂී පියවර පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති / ප්‍රධාන ඩිජිටල් නිලධාරි දීප එදිරිසූරිය මහතා මෙසේ පැවසුවේය: "බැංකුකරණය සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. එබැවින් එදිනෙදා මූල්‍ය කටයුතු වඩාත් පහසු, වේගවත් සහ ප්‍රවේශ විය හැකි මට්ටමකට පත් කිරීම ඩිජිටල් පද්ධතිවල වගකීමක්. DFCC ONE හි සිදු කළ මෙම නවතම යාවත්කාලීන කිරීම් හරහා අප බලාපොරොත්තු වන්නේ ගනුදෙනුකරුවන්ට ප්‍රායෝගික පහසුවක් සැලසීමයි. අපගේ අරමුණ වන්නේ ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතයට අර්ථවත්, පරිපූර්ණ සහ ප්‍රයෝජනවත් ඩිජිටල් බැංකු අත්දැකීමක් අඛණ්ඩව ලබා දීමයි."

    මෙම නව විශේෂාංග, සියලුම ගනුදෙනුකාර පාර්ශව වෙත ඩිජිටල් බැංකුකරණය සමීප කිරීම සඳහා DFCC බැංකුව දියත් කර ඇති පුළුල් උපායමාර්ගයට මනාව අනුගතවේ. සිය සේවාවන් නිරන්තරයෙන් යාවත්කාලීන කරමින්, පුද්ගලික සහ ව්‍යාපාරික බැංකුකරණයේ ප්‍රධානතම ඩිජිටල් පද්ධතියක් ලෙස DFCC ONE ස්ථාපිත කිරීමට බැංකුව කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍යකරණයේ පුරෝගාමියා වන DFCC බැංකුව, ගනුදෙනුකරුවන්ගේ සහ ව්‍යාපාරවල මූල්‍ය ගනුදෙනු වඩාත් විශ්වාසයෙන්, කාර්යක්ෂමව සහ පහසුවෙන් සිදු කිරීම උදෙසා මෙවැනි නවීන ඩිජිටල් බැංකුකරණ විසඳුම් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරයි.