කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනාගත් බැංකු සන්නාමයයි  

    July, 14, 2026

    ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව LMD සඟරාව විසින් සිදු කරන ලද 2026 වසරේ වඩාත්ම ජනාදරය දිනාගත් සන්නාම සමීක්ෂණයේ සේවා සන්නාම කාණ්ඩය යටතේ අඛණ්ඩව තෙවැනි වසරටත් අංක 1 බැංකු සන්නාමය ලෙස ශ්‍රේණිගත වී ඇති අතර මෙරට සියලුම සේවා සන්නාම අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත් වී ඇත.

    LMD සඟරාවේ පාඨකයන් අතර PepperCube Consultants ආයතනය විසින් සිදු කළ මෙම සමීක්ෂණය මඟින් ආයතනික, නිෂ්පාදන, සේවා සහ නව සන්නාම යන කාණ්ඩ ආවරණය වන පරිදි ක්ෂේත්‍ර 45ක් තුළ සන්නාමයන් කෙරෙහි ගනුදෙනුකරුවන් දක්වන ඇල්ම සහ ප්‍රසාදය ඇගයීමට ලක් කර තිබේ. පෞද්ගලික හා රාජ්‍ය බැංකු ලෙස වර්ගීකරණය කර ඇති බැංකු ක්ෂේත්‍රය තුළ පෞද්ගලික අංශයේ බැංකු අතර වඩාත්ම ජනප්‍රිය සහ පාරිභෝගිකයන්ගේ වැඩිම ප්‍රසාදය දිනාගත් බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තේරී පත් විය.

    මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පවසා සිටියේ අඛණ්ඩව ‘වඩාත්ම ජනාදරය දිනාගත්’ සන්නාමයක් ලෙස තේරී පත්වීම ගනුදෙනුකරුවන් බැංකුව කෙරෙහි දීර්ඝ කාලීනව තබා ඇති විශ්වාසය සහ පක්ෂපාතිත්වය පිළිබිඹු කරන බවයි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් වෙනස් වන වාතාවරණයක ඔවුන්ට ගැළපෙන සේවාවන් අඛණ්ඩව ලබාදීමටත්, නවෝත්පාදන හඳුන්වාදෙමින් සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමටත් බැංකුව කැපවී සිටින බව පැවසූ ඒ මහතා, මෙම ඇගයීම ශ්‍රී ලාංකික ජනතාව බැංකුවේ විශිෂ්ට සේවාව සහ නවෝත්පාදන අගය කරන බවට තවත් තහවුරු කිරීමක් බව ද සඳහන් කළේය.

    ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් සේවා ප්‍රතිපත්තියට බැංකුව දක්වන අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵල මත මෙම ශ්‍රේණිගත කිරීම්වල කොමර්ෂල් බැංකුව අඛණ්ඩව ඉහළ ස්ථානයක රැඳී සිටියි. විශිෂ්ට සේවා සැපයීම, ඩිජිටල් නවෝත්පාදන හඳුන්වාදීම සහ සියලු පාර්ශව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යාම සඳහා බැංකුව අඛණ්ඩව ආයෝජනය කරයි. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම බැංකුවේ ප්‍රමුඛතාව වන අතර, ඔවුන්ගේ අදහස් සහ ප්‍රතිචාර නිරන්තරයෙන් විමසා බැලීම මෙන්ම ඒ අනුව සිය සේවාවන් අඛණ්ඩව වැඩිදියුණු කිරීම ද බැංකුව විසින් සිදු කරයි.

    මහජන ප්‍රසාදය මත කොමර්ෂල් බැංකුවට හිමි වූ තවත් සම්මාන රැසකට එක් වූ තවත් ජයග්‍රහණයක් ලෙස මෙම ඇගයීම හඳුනාගත හැක. මේ අතරට SLIM Kantar People’s Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව සිව්වැනි වරටත්  වසරේ ජනතා ප්‍රසාදය හිමි පෞද්ගලික බැංකු සේවා සන්නාමය ලෙස තේරී පත්වීම ද ඇතුළත් වේ. මෙම ජයග්‍රහණයත් සමඟ මෙරට වඩාත්ම ජනප්‍රිය පෞද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් වී තිබේ.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.