ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ ශීඝ්ර වෙනස්වීම් හමුවේ ශ්රී ලංකාව ඩිජිටල් සහ කාර්මික පරිවර්තනයක පෙරගමන්කරුවෙකු බවට පත්කිරීමේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, Wireless Intelligence and Innovation (WIIN) Institute of Technology ආයතනය TRACE Expert City හිදී නිල වශයෙන් ආරම්භ විය. ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතාගේ ප්රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
ගෝලීය මට්ටමින් ප්රතිඵල ලබාදීම සහ දේශීයව ක්රියාත්මක වීම යන පදනම මත පිහිටා ක්රියාත්මක වන මෙම ආයතනයේ පර්යේෂණ සහ ව්යාපෘති ජාත්යන්තර මට්ටම නියෝජනය කළද, එහි මූලික සහ ප්රධානතම අරමුණ වන්නේ දේශීය තාක්ෂණික ක්ෂේත්රය සහ සමස්ත ආර්ථික පද්ධතිය සවිබල ගැන්වීමයි.
පූර්ණකාලීන පර්යේෂකයන්, ඉංජිනේරුවන් සහ මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සමන්විත කැපවූ කණ්ඩායමක් හරහා, රටේ ආර්ථිකයට සෘජුවම බලපාන ප්රධානතම ක්ෂේත්ර පහක් වන විදුලි සංදේශ, බලශක්ති, ඉදිකිරීම්, මූල්ය තාක්ෂණ සහ සෞඛ්ය යන අංශයන්හි ප්රගතිය උදෙසා සුවිශේෂී තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට WIIN ආයතනය මූලිකත්වය ගෙන කටයුතු කරයි. මීට අමතරව, වෘත්තිකයන් නවතම තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ යන්ත්ර ඉගෙනුම (Machine Learning) වැනි අතිනවීන විෂය පථයන් ඇතුළත් කරමින්, කර්මාන්තයන්හි නිශ්චිත ඉල්ලුමට සරිලන පරිදි සකස් කළ සුවිශේෂී පුහුණු මොඩියුලයන්ද මෙම ආයතනය මඟින් පිරිනමනු ලබයි.
මෙම ආයතනය යුරෝපීය ව්යාපෘති සහ ගෝලීය රැහැන් රහිත සන්නිවේදන ක්ෂේත්රයේ අසමසම අත්දැකීම් සහිත ෆින්ලන්තයේ ඕලු විශ්වවිද්යාලයේ (University of Oulu) 6G Flagship වැඩසටහන, ගෝලීය තලයේ තාක්ෂණික උපදේශකත්වය ලබාදෙන ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT Madras) සහ IITM Pravartak ආයතනය මෙන්ම, මෙරට විශ්වවිද්යාලීය ඉංජිනේරු පීඨ ද මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වී තිබේ.
මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා , ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්යංශ ලේකම් වරුණ ශ්රී ධනපාල මහතා, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් දේවිකා ලාල් මිය , ආචාර්ය ශංකර් රාමන් ,IIT Madras හි මහාචාර්ය ඩේවිඩ් කොයිල්පිල්ලෙයි මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්ෂේත්රයේ ප්රවීණයන් රැසක් එක්ව සිටියහ.