July, 20, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සයිබර් තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාමූහික ක්‍රියාමාර්ග සහ දිනෙන් දින වෙනස් වන සයිබර් තර්ජන පිළිබඳව සංවාදයක නිරත වීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද 'visa ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026' පසුගියදා පැවැත්වීය. බැංකු ක්ෂේත්රයේ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී වූහ.
පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින් ද සුරක්ෂිත කරමින්, විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත්, සමස්ත ප්‍රජාවම ආවරණය වන ඩිජිටල් ආර්ථිකයක් ස්ථාපිත කිරීමටත් සයිබර් ආරක්ෂණය අත්‍යවශ්‍ය සාධකයකි. මෙම සමුළුව හරහා නැඟී එන සයිබර් තර්ජන, මූල්‍ය වංචා වැළැක්වීම සහ නියාමන සූදානම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙන්ම, පාරිභෝගිකයින්, ව්‍යාපාර සහ සමස්ත මූල්‍ය පද්ධතියේම ආරක්ෂාව උදෙසා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී.
Visa ආයතනයේ ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද විශේෂ සැසිවාරයන්හිදී, වත්මන් සයිබර් තර්ජන, කෘත්‍රිම බුද්ධිය (AI) පාදක කරගත් සයිබර් ආරක්ෂණය, සයිබර් විසඳුම් සහ උපදේශන සේවා මෙන්ම අවදානම් කළමනාකරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එහිදී 'Feature space' තාක්ෂණය හඳුන්වා දෙමින් AI තාක්ෂණය මඟින් ක්‍රියාත්මක වන මූල්‍ය වංචා වැළැක්වීමේ නවතම ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු විය. විශේෂයෙන්ම, AI තාක්ෂණය භාවිත කරමින් එල්ල වන සයිබර් ප්රහාරයන්හි පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් මූල්‍ය ආයතන, නියාමන ආයතන සහ ව්‍යාපාර මුහුණ දෙන අභියෝගයන් පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
සමුළුවට සමගාමීව පැවැත්වුණු විද්වත් සංවාද මණ්ඩපයට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සිරිකුමාර කුඩගම මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල මහතා, සයිබර් අණදෙන සහ තොරතුරු යුධ මධ්‍යස්ථානයේ (Cyber Command and Information Warfare Centre) අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.වී.පී. ධම්මික මහතා, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහේවා මහතා සහ Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ මහත්මිය ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස් වන සයිබර් අවදානම් තත්ත්වයන් මෙන්ම ඊට මුහුණ දීම සඳහා මූල්‍ය ක්ෂේත්රය සතු විය යුතු සූදානම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් පළ විය. විශේෂයෙන්ම, මතුවන තර්ජන පිළිබඳ පූර්ව අවබෝධය, තත්කාලීන ප්‍රතිචාර දැක්වීමේ හැකියාව, ක්‍රමවත් තොරතුරු හුවමාරුව, වෘත්තීය ධාරිතා වර්ධනය, ශක්තිමත් නියාමන රාමුවක් පැවතීම සහ උසස් ආරක්ෂණ විසඳුම් භාවිත කිරීමේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී බෙහෙවින් අවධාරණය කෙරිණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ධනපාල මහතා මෙසේ පැවසීය: "ශ්‍රී ලංකාව සිය ඩිජිටල් පරිවර්තනය කරා වේගයෙන් ගමන් කරන මේ කාල වකවානුව තුළ, සයිබර් ආරක්ෂණය යනු ජාතික ප්‍රමුඛතාවක් වන අතරම ඩිජිටල් ආර්ථිකය කෙරෙහි විශ්වාසය තහවුරු කරන ප්‍රධානතම පදනම ද වනවා. මෙවැනි වැඩසටහන්, නැඟී එන අවදානම්වලට සාර්ථකව මුහුණ දීමට සහ සාමූහික ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනැඟීමට රජය, නියාමන ආයතන, මූල්‍ය ආයතන මෙන්ම කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රමුඛයන් එකම වේදිකාවකට එක් කිරීමට ලැබුණු මහඟු පිටුවහලක් වනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා Visa වැනි ගෝලීය ගෙවීම් ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ඔවුන්ගේ ජාත්‍යන්තර විශේෂඥ දැනුම, නවෝත්පාදන සහ සහයෝගීතාවය තුළින් දක්වන සක්‍රීය දායකත්වය අපි බෙහෙවින් අගය කරනවා. රට තුළ ආරක්ෂිත, ස්ථාවර මෙන්ම සමස්ත ප්‍රජාවම ආවරණය වන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය හවුල් වගකීම තහවුරු කිරීමට මෙම සමුළුව ඉතා කාලෝචිත පියවරකි."
සමුළුවේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ මහත්මිය කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයත් සමඟ, ඩිජිටල් ගෙවීම් කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම සඳහා සයිබර් ආරක්ෂණය අත්‍යවශ්‍ය සාධකයක් බවයි. පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට වඩාත් සුරක්ෂිත මෙන්ම ඔරොත්තු දීමේ ශක්තියෙන් යුත් අවස්ථාවක් නිර්මාණය කිරීම උදෙසා නියාමන ආයතන, මූල්‍ය ආයතන සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට Visa ආයතනය නිරන්තරයෙන් කැපවී සිටින බවද ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා. සයිබර් ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කිරීම තනි ආයතනයකට පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා ක්‍රියාකාරී සහයෝගීතාවය, පූර්ව සූදානම සහ අඛණ්ඩ ආයෝජනයන් පැවතිය යුතුය. මෙවැනි වැඩසටහන් හරහා, මෙරට ඩිජිටල් වාණිජ්‍යයේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපගේ ගෝලීය විශේෂඥ දැනුම, ප්‍රායෝගික අවබෝධය සහ ආරක්ෂාව කේන්ද්‍ර කරගත් තාක්ෂණික විසඳුම් සමඟින් දේශීය මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට Visa ආයතනය නිරන්තරයෙන් සහාය ලබා දෙයි."
මෙම සමුළුව සඳහා සහභාගී වූ විවිධ පාර්ශවකරුවන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර, එයින් දේශීය මූල්‍ය ක්ෂේත්රය තුළ සයිබර් ආරක්ෂණය සහ වංචා වැළැක්වීම සඳහා ලබා දෙන ඉහළ ප්‍රමුඛතාවය මනාව පිළිඹිබු විය. ආරක්ෂිත මෙන්ම ඔරොත්තු දීමේ ශක්තියෙන් යුත් ඩිජිටල් ගෙවීම් පරිසරයක් ගොඩනැඟීම උදෙසා අඛණ්ඩ සහයෝගීතාවය, හවුල් වගකීම සහ නවෝත්පාදනයේ ඇති වැදගත්කම මෙමඟින් නැවත වරක් තහවුරු කෙරිණි.

Video Story