ලංගමට Standard වෙනුවට Deluxe බස් 600ක්

    July, 21, 2026

    2026 වර්ෂයේදී රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54කින් සමන්විත Standard මාදිලියේ නව බස්රථ 600ක් මිල දී ගැනීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත.

    එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම - 2025/2026 හඳුන්වා දී ඇත. එකී සැලැස්ම යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බස්රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස්රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළියෙල කරනු ලැබ ඇත. එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස්රථ සේවයේ යෙදවිය යුතු වේ.

    ඒ අනුව, දැනටමත් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති Standard මාදිලියේ නව බස්රථ 600 වෙනුවට Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) වඩා සුවපහසු බස්රථ මිල දී ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීම සඳහා වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.