මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක්. පිරිවැටුම රු. බිලියන 3 1/2 පනී

    July, 22, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් අද (22) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 3.83ක සුළු වර්ධනයක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 12.39ක සුළු පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,149.56ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,932.62ක් ලෙසත් සටහන් වී තිබුණි.

    දිනය තුළ දැකගත හැකි වූ සුවිශේෂී සිදුවීම වූයේ රු. බිලියන 3.53ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබීමයි.

    ප්‍රධාන වශයෙන් ON'ALLY HOLDINGS PLC සමාගමේ 50.886%ක පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලැබූ LANKA REALTY INVESTMENTS PLC විසින් සිය කොටස් හිමිකාරීත්වය බැහැර කිරීමේ ගනුදෙනුව මීට හේතුවිය. එය රු. බිලියන 2.26ක ගනුදෙනුවකි. අද පස්වරුවේ දී LANKA REALTY INVESTMENTS PLC නිවේදනය කර තිබුණේ සිය අනුබද්ධිත සමාගමක් වන Lee Hedges PLC වෙත අදාළ කොටස් බැහැර කිරීම සිදුකළ බවයි.