කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගමේ දැවැන්ත කොටස් ගනුදෙනුවෙන් පසු අද උදෑසනම දෛනික පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවා යයි

    August, 6, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම අද (06) දින ගනුදෙනු ආරම්භ වී මුල් භාගය තුළ දී රු. බිලියන 9 සීමාව ඉක්මවා යනු ලැබීය.

    මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් වාර්තා වූ දැවැන්ත කොටස් ගනුදෙනුවක් මේ සඳහා හේතු වූ අතර පෙරවරු 10.40 පමණ වන විට එහි කොටස් මිලියන 86.88ක් එකක් රු. 100.50 බැගින් හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 8.73ක පිරිවැටුමක් ඒ සඳහා වාර්තා වී තිබුණි.

    වාර්තා වන අන්දමට කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඒ ප්‍රමුඛ කොටස්කරුවා වූ GROUP LEASE HOLDINGS PTE LTD සමාගම විසින් සිය කොටස් හිමිකාරීත්වය අද (06) දින අලෙවි කර තිබේ. GROUP LEASE HOLDINGS PTE LTD යනු ඈවර කිරීමට යටත්ව පවතින සමාගමක් වන අතර 2026 ජූනි 30 වන විට කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 95.39ක් හෙවත් සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 29.99%කට ඔවුන් හිමිකම් කියනු ලැබීය.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 100ක් ඉක්මවා ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.