ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ILO Better Work වැඩසටහන එක්ව ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගල සමානාත්මක සහභාගීත්වයක් සහතික කරයි

    August, 25, 2026

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ආබාධිත පුද්ගලයන් සඳහා වඩාත් සමානාත්මක සහභාගීත්වයක් සහ සියලු දෙනාටම සමාන අවස්ථා උදා කර දීමේ සේවා පරිසරයක් ගොඩනැගීමේ අරමුණින්, ප්‍රමුඛ ඇඟලුම් සමාගම් 13ක් පසුගියදා කොළඹදී ස්වේච්ඡා ප්‍රතිඥාවකට අත්සන් තැබීය.

    මෙම පියවර, Better Work Sri Lanka යටතේ ක්‍රියාත්මක “Inclusive Threads” වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනට ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ සහාය ද හිමිවේ.

    මෙම ප්‍රතිඥාව හරහා සේවා ස්ථාන තුළ ආබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වය සහ අවස්ථා පුළුල් කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගැනීමට සමාගම් කැපවී සිටින බව ප්‍රකාශ කර ඇත.

    මෙම ප්‍රතිඥාවට අත්සන් තැබූ සමාගම්, ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ට එරෙහි වෙනස්කම් වැළැක්වීම, සේවා ස්ථානය තුළ අවශ්‍ය පහසුකම් සහ සාධාරණ සංශෝධන සැලසීම මෙන්ම, සමානාත්මක රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා රාජ්‍ය ආයතන හා කර්මාන්ත හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම ඇතුළු මූලික මූලධර්ම අටක් ක්‍රියාත්මක කිරීමට කැපවී සිටී.

    මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය, ලංකා සේව්‍ය සම්මේලනය (EFC), ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ සමාගම් රැසක නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලුව සංවර්ධන හවුල්කරුවෝ ද මෙම වැඩසටහනට සහභාගි වූහ.

    උත්සවය අමතමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අධ්‍යක්ෂ ජෝනි සිම්ප්සන් මහත්මිය පැවසුවේ, මෙම ප්‍රතිඥාව මගින් සියලු ගැටලු දැනටමත් විසඳී ඇති බව ප්‍රකාශ කිරීමක් නොව, තවදුරටත් ප්‍රගතිය කරා ගමන් කිරීමට ඇති පොදු කැපවීමක් පිළිබිඹු වන බවයි.

    “මෙම ප්‍රතිඥාවට අත්සන් තැබීම මගින්, ආබාධිත පුද්ගලයන්ට හිතකර සහ ඔවුන්ගේ සමානාත්මක සහභාගිත්වය සහතික කරන රැකියා පරිසරයක් තම ආයතන තුළ තවදුරටත් ශක්තිමත් කිරීමට සේවා යෝජකයින් තුල වූ පොදු කැපවීම යලිත් පරීක්ෂාවට ලක්කෙරෙන බවයි . බඳවාගැනීමේ ක්‍රමවේද නැවත සමාලෝචනය කිරීම, පවතින බාධක ඉවත් කිරීම, සේවකයන් සමඟ සම්බන්ධ වීම සහ ආබාධිත පුද්ගලයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම එහි අරමුණයි,” සිම්ප්සන් මහත්මිය පැවසුවාය.

    “සැබෑ සහ දිගුකාලීන ප්‍රගතියක් ලබාගත හැක්කේ රජය, සේවා යෝජකයන්, සේවකයන් සහ ආබාධිත පුද්ගලයන් නියෝජනය කරන සංවිධාන අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් තුළින් පමණයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට අයත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ, 2025 නොවැම්බර් මාසයේදී Better Work වැඩසටහන සමඟ නිල වශයෙන් එක්වීමෙන් පසු Inclusive Threads වැඩසටහන හරහා සැලකිය යුතු ප්‍රතිඵල ලබාගෙන ඇති බවයි. ආබාධිතභාවය සමාජ සුබසාධන ප්‍රශ්නයක් ලෙස පමණක් නොව, ආර්ථික සවිබලගැන්වීමේ දෘෂ්ටිකෝණයකින් බැලීමට මෙම වැඩසටහන මගින් සාධනිය පෙළඹවීමක් ඇති කර ඇති බවද ඇය සඳහන් කළාය.

    “අපගේ ප්‍රධාන අරමුණ වන්නේ, විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරමින්, ආබාධිත පුද්ගලයන්ට රැකියා හරහා සමාන අවස්ථා ලබාදීමයි,” කරුණාරත්න මහත්මිය පැවසුවාය.

    “ප්‍රජා මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණුව සහ සේවා යෝජකයන් සමඟ සෘජු හවුල්කාරිත්වයන් හරහා අපි මේ වන විට පවුල් 17,000කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වී තිබෙනවා. අපගේ වෘත්තීය පුහුණු ආයතන හරහා අයදුම්කරුවන් පුහුණු කර ඇති අතර, දිස්ත්‍රික් මට්ටමේ රැකියා ප්‍රදර්ශන හරහා පුද්ගලයන් 12 දෙනෙකුට විධිමත් රැකියා අවස්ථා ලබාගැනීමටද සහාය වී තිබෙනවා. මෙය ප්‍රතිඵල ලබාදෙන ආකෘතියක්. එය තවදුරටත් පුළුල් කිරීමට අප කැපවී සිටිනවා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා අදහස් දක්වමින් පැවසුවේ, ආබාධිත පුද්ගලයන් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා එක්කර ගැනීම නව උත්සාහයක් නොව, කර්මාන්තය පුරා දශක ගණනාවක් තිස්සේ ගොඩනැගුණු අත්දැකීම් මත පදනම් වූ ක්‍රියාවලියක් බවයි.

    “ආබාධිත පුද්ගලයන්ට රැකියා ලබාදීම පුණ්‍ය කටයුත්තක් ලෙස නොසලකා, වෘත්තීය කුසලතා ඉගෙන ගැනීමට කැපවී සිටින සහ සේවා ස්ථානවලදී බොහෝවිට විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන පුද්ගලයන් කෙරෙහි කරන ප්‍රයෝජනවත් ආයෝජනයක් ලෙස බැලිය යුතුයි,” ලෝරන්ස් මහතා පැවසීය.

    “ආබාධිත පුද්ගලයන් බොහෝවිට බාධකවලට මුහුණ දෙන්නේ හැකියාව නොමැති නිසා නොව, අවස්ථා සහ ප්‍රවේශය සීමිත වීම නිසයි. සේවා යෝජකයන් සියලු දෙනාට සමානව සහභාගී විය හැකි සේවා පරිසරයක් නිර්මාණය කළ විට, එම බාධක ඉවත් කිරීමට දායක විය හැකි අතර, පුද්ගලයන්ට තම පූර්ණ හැකියාව ජාතික ආර්ථිකයට ලබාදීමට අවස්ථාව ලැබෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    Inclusive Threads වැඩසටහන යටතේ මේ වන විට සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය පුහුණු ආයතන තුනක පුහුණු ක්‍රමවේද නවීකරණය කර ඇති අතර, ඇඟලුම් කර්මාන්තයේ සේවකයන් 140කට අධික පිරිසකට සංඥා භාෂා පුහුණුව ලබාදී තිබේ. එමෙන්ම, පුහුණුව ලබන ආබාධිත පුද්ගලයන් සඳහා ඇඟලුම් සමාගම් කිහිපයක කර්මාන්තශාලා මට්ටමේ පුහුණු අවස්ථාද සලසා දී ඇත.

    මෙම අවස්ථාවේදී ඇඟලුම් සමාගම් 13ක් ස්වේච්ඡා ප්‍රතිඥාවට අත්සන් තැබීය. ඒ අතර Brandix Apparel PVT LTD, Filotex Lanka (Pvt) Ltd, Hirdaramani International Exports (Pvt) Ltd, Inqube Global (Pvt) Ltd, Maliban Wovens (Pvt) Ltd, Martex M F G (Pvt) Limited, Miami Clothing (Pvt) Ltd, Original Apparel (Pvt) Ltd, Q Collection (Pvt) Ltd, Sumithra Garments (Private) Limited, Sun Queen Apparel (Pvt) Ltd, Vogue Tex (Pvt) Ltd සහ Winterquilts (Pvt) Ltd යන සමාගම් ඇතුළත් විය.

    උත්සවය අවසානයේ සහභාගී වූ සමාගම් විසින් අත්සන් කරන ලද කැපවීම් ලිපි නිල වශයෙන් භාරදීම සිදුකළ අතර, ස්තුති ප්‍රකාශයකින් අනතුරුව ආයතන සහ කර්මාන්ත නියෝජිතයන් අතර අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවක්ද පැවැත්විණි.