සංචාරක ප්‍රවර්ධන මාර්ග සිතියම 2026-2030 දියත් කිරීම අද

    August, 31, 2026

    ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සංචාරක අංශය මගින් සංවිධානය කරනු ලබන "ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම" (Global Promotional Campaign Road Map) සහ "ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026–2030)" සකස් කිරීමේ උපදේශන සේවාවන් අද (31) දින නිල වශයෙන් ආරම්භ කෙරේ. ලෝක බැංකුවේ ව්‍යාපෘති සූදානම් කිරීමේ ආධාරක පහසුකමෙහි (GFPP) මූල්‍ය දායකත්වයෙන් පැවැත්වෙන මෙම දියත් කිරීමේ උත්සවය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන (SLITHM) ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

    මෙමගින් ජාත්‍යන්තර සංචාරක ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය රාමුව සපයන අතර, ඉදිරි වසර පහ සඳහා සංචාරක ක්ෂේත්‍රයේ උපායමාර්ගික දිශානතිය තීරණය කෙරේ. කොවිඩ් වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වීමේ අදියරෙන් ඔබ්බට ගොස් ඉහළ වර්ධනයක් සහිත සංචාරක ආකෘතියක් රට තුළ ස්ථාපනය කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව, 2026 වසරේදී සංචාරකයින් මිලියන 2.7ක් සහ ඩොලර් බිලියන 4.2ක ආදායමක් ද, 2027 වසරේදී මිලියන 3කට අධික පැමිණීම් සහ ඩොලර් බිලියන 5ක ආදායමක් ද ඉලක්ක කර ඇත. 2030 වසර වන විට මෙරට දිගුකාලීන සංචාරක ආදායම් ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 10කි.