August, 31, 2026
TIFA ක්‍රියාකාරී සැලැස්ම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ ආයෝජන ආකර්ෂණ උපායමාර්ග ශක්තිමත් කිරීමට වැඩමුළුවෙන් වැදගත් දායකත්වයක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාව (Austrade) සමඟ එක්ව, විදේශ සෘජු ආයෝජන (FDI) ප්‍රවර්ධනය හා ආකර්ෂණය සඳහා ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාව (Austrade) අනුගමනය කරන උපායමාර්ග සහ ක්‍රියාපටිපාටි පිළිබඳ විශේෂ දැනුම හුවමාරු වැඩමුළුවක් පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩමුළුව, ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාව (Austrade) විසින් මීට පෙර පවත්වන ලද වෙළෙඳ ප්‍රවර්ධන හා පහසුකම් සැලසීමේ වැඩසටහනට අදාළ සැසියක දිගුවක් වන අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැලසීමේ ගිවිසුම (TIFA) යටතේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් ක්‍රියාකාරකමක් ද වේ.
වැඩමුළුවේදී ඵලදායී විදේශ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාව (Austrade) අනුගමනය කරන ප්‍රවේශය, ප්‍රමුඛතා අංශ, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද, ඉලක්කගත ආයෝජකයන් හඳුනාගැනීම සහ ආයෝජක සම්බන්ධතා කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කෙරිණි.
හොඳම ජාත්‍යන්තර භාවිතයන් පිළිබඳ උදාහරණ ඇසුරින් ප්‍රායෝගිකව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, ශ්‍රී ලංකාවේ තරඟකාරී වාසිසහගත ආයෝජන ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් ආයෝජන ආකර්ෂණ උපායමාර්ග තවදුරටත් සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ලබාදීමට දායක විය.
ඉහළම නිලධාරී මට්ටමේ සහයෝගය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, අතිගරු මැතිව් ඩක්වර්ත් මහතා, මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාව සතු තරඟකාරී වාසි සහ ඒවා උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා ශ්‍රි ලංකාවට අනන්‍ය වූ අපනයන බෝග මත පදනම් වූ භාණ්ඩ හා සේවා සහිත ගෝලීය මධ්‍යස්ථානයක් නිර්මාණය කිරිම සඳහා ආයෝජන අවස්ථා ආකර්ෂණය කළ හැකි ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රම බලකාය සහ කලාපය තුළ පවතින උපායමාර්ගික පිහිටීම එහි ප්‍රධාන තරඟකාරී වාසි ලෙස ඔහු පෙන්වා දුන්නේය.
වැඩමුළුව මෙහෙයවන ලද්දේ ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාවේ වෙළෙඳ හා ආයෝජන කොමසාරිස් ඇන්ඩෲ කාටර් මහතා විසිනි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පිළිගැනීමේ කථාව පවත්වමින්, ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ආයතන දෙක අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
තරඟකාරී ගෝලීය පරිසරයට උපායමාර්ගික ප්‍රතිචාරයක්
ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාව (Austrade) යනු ඕස්ට්‍රේලියානු රජයේ ජාතික වෙළෙඳ ප්‍රවර්ධන සහ ආයෝජන ආකර්ෂණ කරගැනීමේ ආයතනය වන අතර, ලොව ප්රමුඛ පෙළේ ආයෝජන ප්‍රවර්ධන ආයතනයක් (IPA) ලෙස පිළිගැනේ. එය ප්‍රමුඛතා ක්ෂේත්‍ර කෙරෙහි උපායමාර්ගික අවධානය යොමු කරමින්, ආයෝජන ආකර්ෂණ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ විවිධ මට්ටම් සහ කර්මාන්ත ක්ෂේත්‍ර සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
ගෝලීය ආයෝජන රටාවන් අඛණ්ඩව වෙනස් වන පසුබිමක, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය, තාක්ෂණික දැනුම හුවමාරුව සහ තිරසාර සංවර්ධනය සඳහා දායක වන උසස් තත්ත්වයේ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා රටවල් වඩාත් උපායමාර්ගිකව තරඟ කළ යුතුය.
ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණය, උපායමාර්ගික සැලසුම්කරණය සහ ආයෝජක සේවා සැපයීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම මඟින් ජාත්‍යන්තර ආයෝජකයන් වෙත ආයෝජන ප්‍රවර්ධන ආයතන ලබාදෙන වටිනාකම ඉහළ නැංවීමටත්, නව ආයෝජන ව්‍යාපෘති සහ ප්‍රතිඵල සඳහා අවස්ථා විවෘත කිරීමටත් හැකි වේ.
වැඩමුළුවේ ප්‍රධාන අන්තර්ගතය
වැඩසටහන තුළ ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාව (Austrade) වේ ඝෘජු විදේශ ආයෝජන ආකර්ෂණ උපායමාර්ගයන්හි ප්‍රධාන අංග රැසක් පිළිබඳව අවධානය යොමු කෙරිණි. ඒ අතර ප්‍රමුඛතා ක්ෂේත්‍ර සහ ජාත්‍යන්තර සන්නාමකරණය, උප-ක්ෂේත්‍ර මට්ටමේ ආයෝජන අවස්ථා මත පදනම්ව ආයෝජකයන් සඳහා යෝජනා (Value Propositions) සකස් කිරීම, ඉලක්කගත ආයෝජකයන් හඳුනාගැනීම, ආයෝජක සේවා සැපයීම, ඩිජිටල් මෙවලම් සහ පහසුකම්, ආයෝජක ජීවන චක්‍රය ප්‍රවර්ධනය, ආකර්ෂණය, පහසුකම් සැලසීම, පසු-සේවා සහ ආයෝජකයන් රඳවා තබා ගැනීම මෙන්ම ආයෝජන දිරිගැන්වීම සහ ආයතන අතර සම්බන්ධීකරණය සඳහා ඕස්ට්‍රේලියානු රජය ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති රාමු සහ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරිම සිදු කරන ලදී.
එමෙන්ම, ඕස්ට්‍රේලියානු වෙළෙඳ හා ආයෝජන කොමිෂන් සභාවේ (Austrade) ආයෝජන උපායමාර්ගය, ආයතනික ව්‍යුහය සහ මෙහෙයුම් ආකෘතිය, ගෝලීය ආයෝජන පරිසරයේ සිදුවන වෙනස්කම්, ආයෝජක සේවා, ආයෝජන ව්‍යාපෘති ක්‍රමවේද කළමනාකරණය (Pipeline Management), ඩිජිටල් පහසුකම්, ඉලක්කගත ආයෝජකයන් හඳුනාගැනීම සහ ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති රාමු සහ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
අපේක්ෂිත ප්‍රතිඵල
මෙම වැඩමුළුව මඟින් ආයෝජන ආකර්ෂණ උපායමාර්ග සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ක්ෂේත්‍ර අනුව ආයෝජන ප්‍රවර්ධනය සහ ඉලක්කගත ආයෝජකයන් හඳුනාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙ හි අවබෝධය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, උසස් තත්ත්වයේ ආයෝජන සමඟ සාර්ථකව සම්බන්ධ වීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙ හි ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ඛනිජ හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට අදාළ ක්ෂේත්රයන් වෙත ආයෝජකයන් ආකර්ශනය තරගැනිම සඳහා ඔවුන්ට ලබාදිය හැකි “ සුවිශේෂී ආයෝජන වටිනාකම්” (Value Proposition) සකස් කිරීමට අවශ්‍ය අවබෝධය ලබාගැනීම ද මෙම වැඩමුළුවේ අපේක්ෂිත ප්‍රතිඵල අතර විය.
Video Story