දකුණු අධිවේගියට තවත් විවේක ස්ථානයක්

    March, 15, 2014

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද විවෘත කෙරෙන ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස සඳහාද විවේක ස්ථානයක් ගොඩනැගීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

    මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “මෙම නව විවේක ස්ථානය ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙන්නේ මාතර ගොඩගම පිවිසුමේයි. මෙය වැලිපැන්න විවේක ස්ථානය තරම්ම ලොකුවට මුලින්ම ආරම්භ කරන්නේ නෑ. ගොඩගම විවේක ස්ථානයේත් වාහන නතර කිරීමේ පහසුකම්, වැසිකිළි පහසුකම් මෙන්ම අවන්හල් ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා.“

    පේමසිරි මහතා පැවසුවේ මෙහි ඉදිකිරීම් තවත් නොබෝ දිනකින්ම ආරම්භ කරන බවයි.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කිලෝ මීටර් 30 ක කොටස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේදී විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

    පේමසිරි මහතා පැවසුවේ මෙම මාර්ගය ඔස්සේ කොට්ටාවේ සිට මාතරට දිනකට වාහන 10,000 ක් පමණ ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බවයි.