ACL Cables වසරේ විශිෂ්ටතම වෙළඳනාමය-B2B ලෙස පිදුම් ලබයි

    December, 2, 2015

    මෙරට විශාලතම කේබල් නිෂ්පාදකයා මෙන්ම වෙළඳපල ප්‍රමුඛයාවන ACL Cables සමාගම පසුගියදා පැවති SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී "වසරේ විශිෂ්ටතම B2B සන්නාමය" ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    ACL Cables සමාගම සම්මාන උළෙල සඳහා සහභාගී වූ පළමු අවස්ථාව මෙයවන අතර, සමාගමේ සන්නාම විශිෂ්ටත්වය, නිෂ්පාදන නව්‍යකරණය සහ කර්මාන්ත ප්‍රමුඛත්වය මෙම සම්මාන තුළින් තවදුරටත් පිළිබිඹු විය.

    සන්නාම අලෙවිකරණය සහ සිය ක්ෂේත්‍රය තුළ උපරිම වටිනාකමක් අත්පත් කර ගැනීම තුළ ACL Cables සමාගම දැක්වූ විශිෂ්ටත්වය උදෙසා මෙහිදී රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.

    ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී දේශීය සමාගම් අතර අඛණ්ඩ නව්‍යකරණය සහ මූලෝපාය අලෙවිකරණය තුළින් සිය සන්නාමය ගොඩනගා ගන්නා සමාගම්වල විශිෂ්ටත්වය ඇගයුමට ලක් කෙරේ. උත්කර්ෂවත් ලෙස පැවති සන්නාම උළෙල සඳහා මෙරට කීර්තිමත් සන්නාම රැසක් සහභාගී වූහ.

    "මෙම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. සම්ප්‍රදායයෙන් බැහැරව නිරන්තරයෙන් නව්‍යකරණය වෙත යොමු වීම සඳහා අප යොමු කරවන අපගේ ළෙන්ගතු පාරිභෝගික ජනතාවත්, අපගේ නාමය ක්ෂේත්‍රය තුළ ඉහලින් ඔසවා තැබීමට සාමූහිකව කැපවන අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් ද මෙමගින් ඇගයුමට ලක් වුණා. ජාතික වශයෙන් කීර්තියට පත් ආයතනයක් විසින් මෙලෙස ඇගයුමට ලක් කිරීම තුළින් පසුගිය වසර පුරා අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට අප ගත් උත්සාහය මැනවින් පිළිබිඹු වනවා. අපගේ සාර්ථකත්වයේ නියමුවන්වන අපගේ ව්‍යාපාරික හවුල්කරුවන්ටත් ළෙන්ගතු පාරිභෝගික ජනතාවටත් අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා." ACL Cables සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා සඳහන් කළේය.

    දිවයින පුරා දැවැන්ත ව්‍යාපෘති සඳහා මෙන්ම ලොව කීර්තිමත් සේවාදායකයන් සඳහා ද කේබල් විසඳුම් ලබා දෙමින් ACL Cables සමාගම B2B වෙළඳපලේ කීර්තියට පත්ව සිටී. මෙවර SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල්දී හිමි වූ සම්මානය, සිය නව්‍යකරණ වෙළඳපල ක්‍රමෝපායන් සඳහා ACL සමාගමට හිමි වූ මෑතකාලීන සම්මානයයි.

    අපනයන ක්ෂේත්‍රය තුළ දැක්වූ විශිෂ්ටත්වය අගයනු වස්, මෑතකදී නිමා වූ ගෝලීය වාණිජ සම්මාන උළෙලේදී ගෝලීය අපනයන විශිෂ්ටතා සම්මානයෙන් ද ACL Cables සමාගම පිදුම් ලැබීය. කළමනාකරණ විශිෂ්ටත්වය පිළිබිඹු කරමින් ACL Cables සමාගම දශකයකට අධික කාලයක පටන් LMD ප්‍රමුඛතම සමාගම් 100 අතර රැඳෙන්නට සමත්ව සිටී.

    කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ප්‍රබල ප්‍රමිතීන් ද අභිබවා යන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් නව්‍යකරණය සහ අසමසම නිෂ්පාදන වෙළඳපලට නිකුත් කිරීමට ACL Cables සමාගම නිබඳව කටයුතු කරයි. මේවන විට සමාගම් සමූහයක් ලෙස ACL Cables සමාගම කේබල් නිෂ්පාදන වෙළඳපල තුළ 70% ක හිමිකාරීත්වයක් මෙන්ම බිලියන 14.5 ක පිරිවැටුමකට හිමිකම් කියයි.

    "කේබල් නිෂ්පාදන වෙළඳපලේ අංක එකේ ස්ථානය දක්වා වඩවඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි අප, මෙරට සමූහ පාරිභෝගික හා ව්‍යාපාරික ප්‍රජාව අතර කේබල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම පුරෝගාමියා දවන බව තවදුරටත් තහවුරු කිරීමට සමත්ව සිටිනවා." මදනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.