Advantis අනුග්‍රහයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම Formula Student Spain 2026 තරඟාවලියට එක්වෙයි

    August, 11, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රථම Formula Student ඉලෙක්ට්‍රිරක් මෝටර් රථ ධාවන කණ්ඩායම වන මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon E Racing කණ්ඩායම, ලොව සුපිරිතම student motorsport තරඟාවලියක් වන Formula Student Spain 2026 සඳහා තරඟ වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා සිසුන් තිස් දෙදෙනෙකු සහ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට ස්පාඤ්ඤය බලා පිටත්ව ගොස් ඇත.

    Hayleys PLC හි ප්‍රවාහන හා කාර්යෝපාය අංශය වන Advantis Group මෙම කණ්ඩායමේ ජාත්‍යන්තර තරඟාවලි අත්දැකීම ශක්තිමත් කිරීම සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දෙයි. ඒ අනුව ඔවුන් Falcon E Racing කණ්ඩායමේ නිල ප්‍රවාහන හා කාර්යෝපාය සහකරු සහ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

    ලෝ ප්‍රකට Circuit de Barcelona-Catalunya ධාවන පථයේදී පැවැත්වෙන Formula Student Spain යනු ලොව පුරා ඉහළම පිළිගැනීමක් ඇති Formula Student තරඟාවලියක ප්‍රධාන පෙළේ අදියරකි. ඉංජිනේරුමය නවෝත්පාදනයන්, තාක්ෂණික විශිෂ්ටත්වය සහ සාමූහික ප්‍රයත්නය ලොවටම ප්‍රදර්ශනය කරමින්, Formula මාදිලියේ මෝටර් රථ සැලසුම් කිරීමට, නිෂ්පාදනය කිරීමට සහ ඒවා ධාවනය කරවීමට ලොව පුරා සිටින විශ්වවිද්‍යාල කණ්ඩායම් මෙම තරඟාවලියේදී එකම වේදිකාවකට එක්වෙති.

    මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරන Falcon E Racing කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය නවෝත්පාදනයන් දැනටමත් නව මානයන් කරා රැගෙන යාමට සමත්ව ඇති කණ්ඩායමක් ලෙස පෙන්වා දිය හැකිය. මෙම කණ්ඩායම 2017 වසරේදී ආරම්භ කළ දා පටන් මේ වන විට සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබේ. ඒ අතර 2019 වසරේදී පැවැති Formula Student Germany තරඟාවලියේ ඉහළ කණ්ඩායම් අතරට තේරී පත්වීම, 2022 වසරේදී පැවැති Formula Student Bharat තරඟාවලියේ සමස්ත දෙවන ස්ථානය දිනාගැනීම, 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම Formula Student ඉලෙක්ට්‍රිරක් මෝටර් රථය එළිදැක්වීම, Formula Bharat 2024 තරඟාවලියේ හොඳම කණ්ඩායම් 10 අතරට තේරී පත්වීම සහ 2025 වසරේදී ඔවුන්ගේ මීළඟ පරම්පරාවේ නවීනතම මෝටර් රථය වන Falcon E2 රථය හඳුන්වා දීම ආදිය කැපී පෙනේ.

    මෙම කණ්ඩායම Formula Student Spain 2026 තරඟාවලියට සහභාගී වීම, ලොව ප්‍රමුඛ පෙළේ ඉංජිනේරු විශ්වවිද්‍යාල සමඟ කරට කර තරඟ කරමින් ඉදිරියටම යාමට ඔවුන් තැබූ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරයි.

    Falcon E Racing කණ්ඩායමේ නිල ප්‍රවාහන හා කාර්යෝපාය සහකරු ලෙස කටයුතු කරමින් Advantis සමාගම, එම කණ්ඩායමේ මෝටර් රථය සහ ඊට අදාළ අනෙකුත් සියලු‍ම උපකරණ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවාහනය කිරීම ඇතුළු සියලුම කටයුතු කළමනාකරණය කරනු ලබයි. මීට භාණ්ඩ ප්‍රවාහන කටයුතු සැලසුම් කිරීම, භාණ්ඩ සූදානම් කිරීම සහ විශේෂිත ක්‍රමවේද ඔස්සේ භාණ්ඩ හැසිරවීමේ කටයුතු, අපනයන හා ආනයන ලියකියවිලි සකස් කිරීම, රේගු කටයුතු නිම කිරීම, ජාත්‍යන්තර සැපයුම් සහකරුවන් සමඟ සම්බන්ධීකරණය කටයුතු සිදුකිරීම, ක්‍ස Circuit de Barcelona-Catalunya ධාවන පථය වෙත භාණ්ඩ ආරක්ෂිතව බෙදා හැරීම මෙන්ම තරඟාවලිය නිම වීමෙන් පසු මෝටර් රථය සහ උපකරණ නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම ආදිය ඇතුළත් වේ.

    මෙම පියවර මඟින්, ඉතා නිවැරදි, තාක්ෂණික හැකියාවක් සහ බාධාවකින් තොර ජාත්‍යන්තර සම්බන්ධීකරණයක් අවශ්‍ය වන, සංකීර්ණ මෙන්ම නියමිත කාලවේලාවන්ට අනුව සිදුකළ යුතු භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් කළමනාකරණය කිරීමෙහිලා Advantis සතු ප්‍රවීණත්වය මැනවින් පෙන්නුම් කරයි. මෙම විශේෂ භාණ්ඩ තොගය වෙනුවෙන් ආරම්භයේ සිට අවසානය දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලියක් (end-to-end solution) ලබා දීම මඟින්, Falcon E Racing කණ්ඩායමට ලොව ප්‍රමුඛ පෙළේ Formula Student තරඟාවලියක් වෙනුවෙන් උපරිමයෙන් කැපවීමට Advantis සමාගම අවස්ථාව සලසා දී ඇත. එමෙන්ම, මෙමඟින් Advantis සමාගම සිය ගෝලීය සැපයුම් මෙහෙයුම් සතු විශ්වසනීයත්වය සහ විශිෂ්ටත්වය ද ලොවටම ප්‍රදර්ශනය කරයි.

    Falcon E Racing කණ්ඩායමට ලබා දෙන මෙම අනුග්‍රහය පිළිබඳව අදහස් දක්වමින් Hayleys Advantis හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් වෛද්‍යරත්න මහතා පැවසුවේ “මෙම Falcon E Racing කණ්ඩායමේ නිල ප්‍රවාහන හා කාර්යෝපාය සහකරු සහ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක්වීමට ලැබීම අපට ආඩම්බරයක්. මෙම කණ්ඩායමේ මෝටර් රථය සහ උපකරණ සුරක්ෂිතව මෙන්ම නියමිත වේලාවට ස්පාඤ්ඤය වෙත ප්‍රවාහනය කිරීම සඳහා Advantis සතු සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය උපරිමයෙන් භාවිත කිරීමට කටයුතු කරනවා. ඒවගේම Formula Student Spain 2026 වැනි ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට Falcon E Racing කණ්ඩායමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරන අතර ඔවුන්ට අපගේ සුබපැතුම් එක් කිරීමට කැමතියි.” යනුවෙනි.

    “Formula Student යනු සිසුන්ට තමන් ඉගෙනගත් දේ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රායෝගිකව අත්හදා බැලීමට ලැබෙන අගනා අවස්ථාවක් වගේම එය ලොව තිබෙන දැඩි ඉල්ලුමක් සහිත ඉංජිනේරු තරඟාවලියක්. එබැවින් මෙවැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගී වීමේදී ශක්තිමත් අනුග්‍රාහකත්වයක් අත්‍යවශ්‍යයි. මෙම කණ්ඩායමේ මෝටර් රථය සහ උපකරණ සුරක්ෂිතව මෙන්ම නියමිත වේලාවට ස්පාඤ්ඤය වෙත ළඟා කර දීමට කටයුතු කළ Advantis සමාගමට මාගේ ස්තූතිය පුද කිරීමට කැමතියි. ඒවගේම මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් නියෝජනය කිරීමට මේ සමස්ත කණ්ඩායම සූදානමින් සිටිනවා.’’ යනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ Falcon E Racing ව්‍යාපෘති සම්බන්ධීකාරක ආචාර්ය ජේ. ආර්. ගමගේ මහතා සඳහන් කළේය.

    ප්ලැටිනම් අනුග්‍රාහකයා සහ නිල ප්‍රවාහන හා කාර්යෝපාය සහකරු ලෙස කටයුතු කරමින් Advantis සමාගම දක්වන මෙම සහයෝගය, ශ්‍රී ලාංකීය තරුණ නවෝත්පාදකයින්ට ජාත්‍යන්තර තලයට පිවිසීමට ශක්තියක් වීමට සමාගමේ කැපවීම පෙන්නුම් කරයි. Advantis සමාගම සැපයුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් ලබා ඇති අත්දැකීම් සහ හවුල්කාරීත්වයන් ඔස්සේ දේශීය නවෝත්පාදනයන් ජාත්‍යන්තර වේදිකාවන් වෙත ඔසවා තැබීමට සමාගම අඛණ්ඩව කටයුතු කර ඇත.