A&E Lanka මෙවර Effie සම්මාන උළෙලේදී  සම්මාන රැසක් දිනාගත් එකම ඇඟලුම් සමාගම බවට පත්වෙයි

    March, 9, 2022


    Elevate Textiles  සමූහයට අයත් ආයතනයක් වන American & Efird Lanka (A&E Lanka) සමාගම පසුගියදා පැවති 12 වැනි Effie සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනාගත් එකම ඇඟලුම් සමාගම බවට පත් විය.

    A&E  සමාගම, කොළඹ මහ නගර සභාව සහ  Triad  ආයතනය එක්ව ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රයත්නයක් ලෙස සකස් කරන ලද  "Life Chant"  ව්‍යාපෘතිය, ලාභ නොලබන/පොදු යහපත/මහජන සේවය, රෝග පිළිබඳ දැනුවත් කිරීම්/අධ්‍යාපන උපදේශන, මාධ්‍ය නව්‍යකරණය සහ ඉන්ෆ්ලුවෙන්සර් ඇතුළු කාණ්ඩ හතරක් යටතේ කුසලතා සම්මාන දිනා ගත්තේය.

    මෙම නව්‍ය ව්‍යාපෘතියේ අවධානය යොමු වූයේ කොළඹ පැල්පත්වාසී ජනයා අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම සහ නිසි ලෙස ජලය ගබඩා නොකිරීම වැනි ක්‍රියා හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිර්මාණය වන බවට ඔවුන්ව දැනුවත් කිරීම කෙරෙහිය. මෙවන් ප්‍රදේශවල ජනයා ආගම කෙරෙහි ප්‍රමුඛස්ථානයක් දෙන අතර ආගමික සිද්ධස්ථානද වැඩි වශයෙන් පවතී. ඩෙංගු මදුරුවන් බෝවීම පිළිබඳ අධ්‍යාපනික සජ්ජායනා භික්ෂූන් වහන්සේලා විසින් ලියා පටිගත කර සජ්ඣායනා කරන ලදී. පැල්පත්වාසී ජනයා වෙසෙන ප්‍රදේශයන් හි පිහිටි විහාරස්ථාන සහ දේවාලවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදෑසන සහ සවස පිරිත් සමඟින් මෙම සජ්ඣායනාද ප්‍රචාරය කරන ලද්දේ සමස්ත ප්‍රජාව වෙත මෙම පණිවිඩය පතුරුවා හරිමිනි. පැල්පත්වාසී ජනයා වෙසෙන ප්‍රදේශ වලට වැඩම කරන ලද භික්ෂූන් වහන්සේලා විසින් ඩෙංගු මදුරුවන් බෝවීම පිළිබඳව දැනුවත් කිරීමත්, ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන පිරිසිදු කිරීමට සිහිකැඳවීමක් ලෙස පැඟිරි තෙල් මිශ්‍රිත සහ ඩෙංගු මදුරුවාගේ අනන්‍ය සලකුණු රටාව ඇතුළත් විශේෂ ‘Life Thread’  (පිරිත් නූල්) ලබා දීමද සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස නිවාස 300කට අධික සංඛ්‍යාවකින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමටත්, සිද්ධස්ථාන සහ ගුවන්විදුලිය හරහා මිලියන 1.9ක ජනතාවක් වෙත පණිවිඩය රැගෙන යාමටත්, 92%ක් ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමටත් හැකි විය.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් A&E Lanka සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ සංජය චන්ද්‍රරත්න මහතා පැවසූයේ, “අපගේ  ‘Life Chant’ ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් කුසලතා සම්මාන 4ක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක කර ගැනීමට අප සමග අත්වැල් බැඳගත් අපගේ හවුල්කරුවන් වන කොළඹ මහ නගර සභාවට සහ  Triad ආයතනයට අපි ස්තූතිවන්ත වෙනවා. එකට එක්ව එක අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමේදී අපට අත්කර ගත හැකි දේ බොහෝමයක් බව මෙම ජයග්‍රහණයෙන් පිළිබිඹු වෙනවා.”

    කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආර්. එල්. ඩී. එස් විජයමුණි අදහස් දක්වමින්, “කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ පුරවැසියන්ගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ඩෙංගු රෝග මර්දනය එහි එක් කාර්යභාරයක්. නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල වැඩිවන ජනගහනයත් සමඟ මෙය සැලකිය යුතු අභියෝගයක්. A&E Lanka සහ Triad ආයතන මෙම වැදගත් පණිවිඩය සමාජය වෙත ගෙන යාමට උපකාර කිරීමට ඉදිරිපත් වීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා.”

    Triad ප්‍රචාරණ ආයතනයෙ හි ප්‍රධාන උපාය මාර්ග නිලධාරී ෂෙහාන් සමරසිංහ මේ පිළිබඳ සිය අදහස් බෙදාහදා ගනිමින්, “මෙම මුලපිරීම හරහා සමාජයේ බොහෝ විට නොසලකා හරින ලද කොටසක් කෙරෙහි අවධානය යොමු කළ අතර ඔවුන්ගේ හැසිරීම් බොහෝ දුරට වෙනස් කිරීමට හැකි වුණා. ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රීය වන උදෑසන සහ සවස් කාළයේදී සිදුකෙරුණු ‘Life Chant’සජ්ඣායනා (ඩෙංගු මදුරුවන් බෝවීම පිළිබඳ අධ්‍යාපනික ගාථා),  ‘Life Thread’(ඩෙංගු මදුරු ලාංඡනය මත පදනම්ව ප්‍රතිනිර්මාණය කරන ලද පිරිත් නූල) ආදිය මගින් ඩෙංගු බෝ වීම වලක්වා ගත හැක්කේ ඔවුන්ටම බව නිරන්තරයෙන් මතක් කර දෙනු ලැබුවා.

    Elevate Textiles සමූහයට අයත් ආයතනයක් වන American & Efird Lanka (A&E Lanka) සමාගම, එක්සත් ජනපදයේ විශාලතම නිෂ්පාදකයා වන අතර කාර්මික සහ පාරිභෝගික මහන නූල්, එම්බ්‍රොයිඩර් නූල් සහ තාක්ෂණික රෙදිපිළි සඳහා ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයා සහ බෙදාහරින්නා වේ. වසර 131 කට වැඩි කීර්තියක් ඇති A&E ආයතන ජාලය ආසියාවේ සිට යුරෝපය සහ ඇමරිකාව දක්වා විහිදේ. A&E Lanka 1991 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදකයින්ට සහාය වේ.

    වඩාත් ඵලදායී වෙළඳ ප්‍රචාරණ ප්‍රයත්නයන් අගය කිරීම සඳහා සම්මාන වැඩසටහනක් ලෙස Effie Awards  සම්මාන උළෙල 1968 දී  New York American Marketing Association විසින් දියත් කරන ලදී. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද දේශීය Effie සම්මාන උළෙල, වඩාත් නිර්මාණශීලි වෙළඳ ප්‍රචාරණ ආයතන සහ අලෙවිකරුවන් අගයනු ලබන සම්මාන උළෙලකි.