AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන ඒජන්සි නිලධාරී ලෙස චානක ලියනගේ පත්වේ

    May, 11, 2023

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, 2023 අප්‍රේල් මස 1වනදා සිට බලපවත්වන පරිදි සිය ප්‍රධාන ඒජන්සි නිලධාරී ලෙස චානක ලියනගේ මහතාගේ පත්වීම සතුටෙන් ප්‍රකාශ කර සිටියි.  මේ තනතුර තුල ඔහුගේ භූමිකාව වනුයේ AIA ශ්‍රී ලංකා සමාගමේ  ඒජන්සි බෙදාහැරීම් අංශයට අයත් 100කට අධික ශාඛා ජාලය තුල,  දිවයින පුරා විසිර සිටින 500 කට අධික ඒජන්සි නායකයන්ට සහ 4000 කට අධික අලෙවි බලකා සාමාජිකයිනට නායකත්වය ලබා දීමයි.  සමාගම වෙනුවෙන් ඒජන්සි අංශයේ අනාගත ගමන්මගෙහි නවතම අදියර සඳහා නායකත්වය දෙමින් AIA හි අද්විතීය වෙල්ත් ප්ලෑනර් කේන්ද්‍රීය ඒජන්සි අලෙවි චැනලය වඩාත් පුළුල් කරමින් එහි වර්ධනය වෙනුවෙන් සිය අවධානය යොමු කිරීමත් මෙම නව තනතුර තුල ඔහුට පැවරෙන කර්තව්‍යක් වෙනු ඇති.

    චානක ලියනගේ මහතා AIA ශ්‍රී ලංකා සමාගම සමඟින් සිය ගමන්මග ආරම්භ කරන ලද්දේ 2019 වසරේ නොවැම්බර් මාසයේදී වන අතර ඔහුව ඉන්දියාවේ TATA AIA  සමාගම වෙත කෙටි කාලයක පුහුණුවක් සඳහා ද යොමු කරන ලදී.  එහිදී ඔහුට ඉන්දියාවේ පූර්ණ කාලීන අලෙවි බලකායක් සහිත Premier Agency channel ව්‍යාපෘතිය දියත් කිරීමේ කණ්ඩායමත් සමග වැඩ කිරීමට අවස්ථාවද ලැබිණි. ඉන්පසුව සමාගමේ නියෝජ්‍ය ඒජන්සි නිලධාරී ලෙස කටයුතු කල ඔහු, සමාගම තුල ඒජන්සි බෙදාහැරීම් අංශයේ ඩිජිටල්කරණ පරිවර්තන ක්‍රියාවලිය සඳහා  මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

    සිය වෘත්තීය ජීවිතය බැංකුකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ HSBC බැංකුව සමඟින් ඇරඹු චානක ලියනගේ මහතා සිය වෘත්තීය ජීවිතය තුල බැංකු සහායක තනතුරේ සිට ජේෂ්ඨ කළමනාකාර තනතුර දක්වා ඉතා ඉක්මණින් ඉහළ තලයට යාමට සමත් වූ අතර,  අවසාන වශයෙන් ඔහු HSBC ශ්‍රී ලංකා හි විකුණුම් ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

    ඕස්ට්‍රෙලියාවේ දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයෙන් පිරිනමන ලද ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියකට හිමිකම් කියන චානක ලියනගේ මහතා සතුව කළමනාකරණ ගණකාධිකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් (CIMA) සහ වරළත්  අලෙවිකරණ ආයතනයෙන් (CIM) අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද සතු වේ.  2016 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සංවිධානය කරනු ලබන ජාතික අලෙවි සම්මේලනය (SLIM - NASCO) සඳහා විද්වත් විනිසුරු මඩුලු සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති ඔහු කොළඹ 7, රාජකීය විද්‍යාලයේ සාඩම්බර ආදී ශිෂ්‍යයෙකි.

    AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුනවීර මහත්මිය චානක ලියනගේ මහතාට සුබ පැතුම් එක්කරමින් කියා සිටියේ " AIA ශ්‍රී ලංකා හි අපි අපගේ වෙල්ත් ප්ලෑනර් ඒජන්සි අලෙවි බලකාය මහත් අභිමානයෙන් සමරන අතර නව පරපුරේ ජේෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු දැරීම සඳහා චානක වැනි තරුණ නායකයෙකු එකතු කරගැනීමට ලැබීම මහත් ගෞරවයක් ලෙස සලකමු.  මූල්‍ය ක්ෂේත්‍රය තුල චානක සතුව ඇති පුළුල් අත්දැකීම් සමුදාය, ව්‍යාපාර සංවර්ධනය පිලිබඳ ඔහුගේ නව්‍ය මෙන්ම ක්‍රමෝපායික දැනුම සහ ශක්තිමත් නායකත්ව කුසලතාවයන්, අපගේ බෙදාහැරීම් අංශයට මනා ශක්තියක් ගෙනෙනු ඇති බව නොඅනුමානයි.  පුද්ගල සංවර්ධනය පිළිබඳව අපගේ කැපවීම, වැඩි වර්ධනය වෙමින් අපගේ අද්විතීය ව්‍යාපාර වෙළෙඳපොල වඩාත් පුළුල් ලෙස විකාශනය කරගනිමින් ඒ ඔස්සේ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ලඟා කරගැනීමට සහය වීමේ අපගේ අභිලාශය මෙමගින් පිළිබිඹු වෙනවා. ".

    චානක ලියනගේ මහතා  තනතුර පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ " මගේ වෘත්තීය ජීවිත ගමන්මග  අතරතුර  මූල්‍ය සහ අලෙවි පසුබිමක්  සහිතව  ආ බැවින් ජීවිත රක්ෂණයට පිවිස ඊට ඉතාමත් පහසුවෙන් අනුවර්තනය වීමට මට හැකි  වුනා.  ඉමහත් කැපවීමෙන් වෙහෙස මහන්සි නොතකා ශ්‍රී ලාංකිකයින්හට රැකවරණය සලසමින් ඔවුනගේ ජීවිත වලට සැබෑ වෙනසක් ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන විශිෂ්ට වෘත්තීකයින්ගෙන් සමන්විත AIA ඒජන්සි කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම මට මහත් අභිමානයක්.  අප ලොව විශාලතම රක්ෂණ සම්පාදකයෙකු හා අනුබද්ධිත සමාගමක්  වන අතර ශ්‍රී ලංකාව තුල ඩිජිටල්කරණ තාක්ෂණයෙන් ශක්තිමත් එමෙන්ම විශාල ශාඛා ජාලයකට  අනුයුක්ත වූ සුවිශිෂ්ට අලෙවි බලකායක් අපව නියෝජනය කරනවා.  ඒ සැමගේ සහභාගීත්වයෙන් අපගේ අගනා සේවාලාභීන්හට රැකවරණය සහ සුරක්ෂිතතාවය ලබා  දෙමින්,  තෝරාගත් වෙළඳපල තුළ ප්‍රමුඛස්ථානයේ අපගේ ස්ථාවරය ශක්තිමත් කිරීමටත් අපි කැපව කටයුතු කරමින් සිටිනවා".