සිලේරියෝ 1,40,000 කින් නගී. AMW සියළුම කාර් මිල වැඩි කරන්නෙ මෙහෙමයි

    September, 11, 2015

    රුපියල අවප්‍රමාණය වීම නිසා වාහනවල මිල ගණන් වැඩිවන ආකාරය පිළිබඳව අප විසින් පලකළ පුවත් සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු අතර මෙරට ඉතාමත් ජනප්‍රිය සුසුකි ඇල්ටෝ, සුසුකි සිලේරියෝ, සුසුකි ස්විෆ්ට් සහ ඇල්ටෝ කේ-10 යන වාහන මෙරට අලෙවි කරන ඇසෝෂියේටඩ් මෝටර්වේස් (AMW) සමාගම එම වාහනවල මිල වැඩිවන ආකාරය විස්තරාත්මකව අනාවරණය කරයි.

    එම සමාගමේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ අළුත් තත්ත්වය මත සුසුකි ඇල්ටෝ මෝටර් රථයක මිල රුපියල් 100,000 කින් ඉහළ යන බවයි. මෙම මෝටර් රථයක පැරණි මිල රුපියල් 14,25,000 ක්වූ අතර එහි නව මිල රුපියල් 15,25,000 ක්වී තිබේ.

    මීට අමතරව, සුසුකි සිලේරියෝ මෝටර් රථයක් රුපියල් 1,40,000 කින් මිල ඉහළ ගොස් ඇත. මෙම මෝටර් රථයේ පැරණි මිල රුපියල් 23,55,000 ක්වූ බවත් එහි නව මිල රුපියල් 24,95,000 ක් වන බවත් අදාළ නිළධාරියා සඳහන් කළා.

    ඉන්දියානු සුසුකි ස්විෆ්ට් මෝටර් රථයක මිල රුපියල් 1,20,000 කින් මිල ඉහළ ගොස් තිබෙන අතර එහි පැරණි මිල රුපියල් 29,40,000 ක්ද නව මිල රුපියල් 30,60,000 ක්ද වෙනවා.

    මීට අමතරව, කේ-10 ඔටෝ ගියර් මෝටර් රථයක් රුපියල් 85,000 කින් මිල ඉහළ ගොස් තිබෙන අතර එහි පැරණි මිල රුපියල් 21,00 000 ක්වූ බවත් නව මිල රුපියල් 21,85,000 ක් දක්වා වැඩිවී තිබෙන බවත් ඔහු සඳහන් කළා.

    මේ අතර, කේ-10 සාමාන්‍ය මෝටර් රථයක මිල රුපියල් 70,000 කින් වැඩිවී තිබෙන අතර පරණ මිල රුපියල් 18,25,000 ක්වූ අතර නව මිල රුපියල් 18,95,000 ක්වී ඇත.

    මෙම උසස් නිළධාරියා පැවසුවේ කේ-10 ඔටෝ ගියර් මෝටර් රථවල පමණක් පැරණි තොග සමාගම සතු බවත් එම තොගය පැරණි මිලටම අලෙවි කරන බවයි.

    රුපියල අවප්‍රමාණය වීමට අමතරව ඉන්දියානු මව් සමාගම විසින් මෝටර් රථවල මිල වැඩිකිරීමද මෙම මිල ඉහළ යාමට හේතුවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසුවා.