Asia Corp Insurance Brokers, සණස රක්ෂණ සමාගම සමග ප්‍රතිරක්ෂණ පහසුකම් සැපයීමට අදාළ ගිවිසුමකට එළඹෙයි

    October, 9, 2023

    ප්‍රමුඛ පෙළේ රක්ෂණ සහ ප්‍රතිරක්ෂණ තැරැව්කාර සමාගමක් වන  Asia Corp Insurance Brokers (Pvt.) Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන සණස රක්ෂණ සමාගම සමඟ පසුගියදා ප්‍රතිරක්‍ෂණ පහසුකම් සැපයීමට අදාළ ගිවිසුමකට එළැඹෙන ලදී.

    මීට අදාළ උත්සවය කොළඹ 80 සමාජ ශාලාවේදී පවත්වන ලද අතර Asia Corp වෙනුවෙන් එහි සභාපති සුනිල් ද සිල්වා මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ද, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති නලින් වෙල්ගම මහතා සමඟින්, බොහෝ දෙනෙක් දෙපාර්ශවයේම ආරාධිතයින් ලෙස සහභාගී වී සිටියහ. සුනිල් ද සිල්වා සහ නලින් වෙල්ගම යන මහත්වරු ප්‍රතිරක්‍ෂණයේ වැදගත්කම පෙන්වා දෙමින් සිය අදහස් පළ කළ අතර එහිදී සමානුපාතික ප්‍රතිරක්‍ෂණ ගිවිසුමකට එළැඹීම සඳහා Asia Corp හි තාක්‍ෂණික කණ්ඩායම සිය විශේෂඥ දැනුම ඇතිව ගෙන ඇති ස්ථාවරය ඇගයීමට ලක් කරන ලදී.

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ ප්‍රතිරක්‍ෂණකරුවන් රටින් පිටවෙමින් සිටින වාතාවරණයක් තුළ මෙවැනි කටයුත්තක් වෙනුවෙන් කැපවීම පිළිබඳ ඔවුන්ට ප්‍රශංසාව හිමි විය යුතු බව ද ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන ලදී. සණස ජීවිත රක්ෂණ සමාගම නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා ද Asia Corp කණ්ඩායමට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ අතර මෙම ප්‍රතිරක්‍ෂණ ගිවිසුමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදී. නුදුරු අනාගතයේදී මෙම ක්ෂේත්‍රය නියත වශයෙන්ම වර්ධනය වනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව සඳහන් කළ එතුමා සමාගම් ව්‍යාපාරවලට එමඟින් ඉහළ ප්‍රතිලාභ අත්කර ගත හැකි වනු ඇති බව ද සඳහන් කළේය.

    ඡායාරූපය - Asia Corp සුනිල් ද සිල්වා මහතා සහ සණස ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා අදාළ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටි  අයුරු. එම අවස්ථාවට එක්වූ (ඡායාරූපයේ වමේ සිට) ක්‍රිස්ටි මර්සිලින් මහතා, සුරේන් ගලගොඩ මහතා, නලින් වෙල්ගම මහතා, සුනිල් ද සිල්වා මහතා, අයිවන් නිකලස් මහතා, කෙනඩි මයිකල් මහතා, ජෝ කරුණාරත්න මහතා සහ චන්දන දිවිගලපිටිය යන මහත්වරු ඡායාරූපයෙන් දැක්වේ.