වරාය නගරයේ වැඩ අත්හිටුවීමෙන් ඉදිකළ දියකඩනය විනාසයි. සමාගමට දිනකට ලක්ෂ 500 ක පාඩුවක්

    March, 12, 2015

    ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය කෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා සිය සමාගමට දිනකට රුපියල් ලක්ෂ 500 කට ආසන්න පාඩුවක් සිදුවෙමින් තිබෙන බවත් දැනට ඉදිකර තිබෙන මීටර් 200 කට වැඩි දිගකින් යුතු දියකඩනය (breakwater) වැඩ නතර කිරීම නිසා විනාශ වී තිබෙන බවත් ව්‍යාපෘති සමාගම වන චයිනා කන්ස්ට්‍රක්ෂන් කමියුනිකේෂන් සමාගම කියයි.

    සමාගම සඳහන් කර තිබෙන්නේ ව්‍යාපෘතියේ දැනට ගොඩකර තිබෙන කොටස්ද දියවෙමින් ගියත් ඒවා යළි යථා තත්ත්වයට පත්කිරීමට වැඩ අත්හිටුවීම නිසා නොහැකි වී තිබෙන බවයි. මෙම ව්‍යාපෘතිය යළිත් ආරම්භ කරන්නේ නම් මෙම කොටස් නැවත ගොඩකිරීම සඳහා සමාගමට අමතර වියදමක් දැරීමට සිදුවන බව චයිනා කන්ස්ට්‍රක්ෂන් කමියුනිකේෂන් සමාගම පවසා ඇත.

    මෙවැනි පාඩු සිදුවෙමින් තිබෙද්දී මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සමාගම ලබාගෙන තිබෙන ණය සඳහා පොලිය ගෙවීමට සිදුවී තිබෙන බවද ව්‍යාපෘති සමාගම සඳහන් කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සෘජුව 1000 ක් පමණද වක්‍රාකාරව 4000 ක් පමණද සේවය කර තිබෙන අතර මොවුන්ගෙන් වැඩි පිරිස ශ්‍රී ලාංකිකයින් වූ බව සඳහන්ය.

    2013 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි.

    මෙහිදී, යෝජිත ව්‍යාපෘතිය මගින් හෙක්ටයාර 233 කට නොඅඩු භූමි භාගයක් මුහුද ගොඩකිරීම මගින් ලබාගන්නා බව මහ බැංකුව සඳහන් කර තිබේ.
    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන තිබෙන චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්‍රක්ෂන් සමාගමට මුහුද ගොඩ කිරීමෙන් පසුව හෙක්ටයාර 108 ක භූමි ප්‍රමාණයක් ආදාල ආයෝජන පිරිවැය, අලෙවි ප්‍රවර්ධන වියදම් පියවා ගැනීම සඳහා සහ ලාභ වශයෙන් වෙන්කිරීමට නියමිත බව මහ බැංකුව පවසා ඇත.

    එසේ වෙන්කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 20 ක ප්‍රමාණයක් නිදහසේ භුක්ති විඳීමේ පදනම මතද ඉතිරි හෙක්ටයාර 88 ක භූමි ප්‍රමාණය වසර 99 ක බදු පදනමක් මතද ලබාදීමට නියමිත බව සඳහන්ය.

    මුළු ගොඩකරන භූමි ප්‍රමාණයෙන් ඉතිරිවන භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 125 ක කොටස ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින බව මහ බැංකුව සඳහන් කර තිබේ.

    මහ බැංකුව එකළ පවසා තිබු‍ණේ මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවීම ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් විදේශීය සෘජු ආයෝජනයක් ලෙස සිදුකිරීමට නියමිත නිසා මෙම ව්‍යාපෘතියේ මූල්‍යන කටයුතු සඳහා රජය වෙත කිසිදු වියදමක් හෝ විදේශීය ණය ගැනීමක් නොමැති බවයි.

    මේ අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කර තිබෙන ද්විපාර්ශවික ගිවිසුම් සහ ව්‍යාපාරික කොන්ත්‍රාත් වලට ගරු කරන්නැයි චීනය මෙරටට පසුගියදා අවධාරණය කළේය.

    ඩොලර් බිලියන 1.4 ක පමණ ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසුව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ලංකාවට දැනුම් දුන්නේ සිය ආයෝජකයින්ගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි.