C.W Mackie PLC සමාගම විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වැඩිදියුණුකර, ප්‍රතිසංස්කරණය කෙරෙයි

    September, 5, 2023

    ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන C.W. Mackie PLC සමාගම පසුගිය දා තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර, එහි දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමත්, ඊට අනුබද්ධ නව ශල්‍යාගාරයක් ඉදි කිරීමත් සිදු විය.

    මේ පිළිබඳ අදහස් දැක්වූ C.W. Mackie PLC  හි විධායක අධ්‍යක්‍ෂ මෙන්ම රෝහල් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සභාපති, මංගල පෙරේරා මහතා "අප සමාගම මෙරට සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වීම ආරම්භ වූයේ  1990 දශකයේ දී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමත් සමඟයි. ඉන් අනතුරුව 2016 වසරේ  ජාතික රෝහලේ 32 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කර නඩත්තු කිරීමට කටයුතු කළ අතර අප ආයතනික සමාජ සත්කාරක ක්‍රියාකාරකම් අගනුවරට පමණක් සීමා නොකර, හොරණ මූලික රෝහලේ  වාට්ටු අංක 10 වෙත ද අප දායකත්වය ලබා දුන්නා".  

    C.W Mackie PLC හි මෙම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳ ව අදහස් දක්වමින් අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පැවසුවේ, "මෙය අපගේ රෝහල් ඉතිහාසයේ සුවිශේෂී සහ වැදගත් දිනයක්. හදිසි අනතුරු ප්‍රතිකාර වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම හා සුළු ශල්‍යාගාරයක් ඉදි කිරීම පිළිබඳව C.W. Mackie PLC හි කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට අපගේ අවංක කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් කැප වූ මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඇත්ත වශයෙන් රටටම ආදර්ශයක්." යනුවෙනි.

    C.W. Mackie PLC සමාගමේ සභාපති හේමක අමරසූරිය මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "C.W. Mackie PLC සමාගම වසර සියයකට අධික ඉතිහාසයක් ඇති සමාගමක්.  මෙම සමාජ සත්කාරක වැඩසටහන සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු සියලු දෙනාගේම දැඩි අවධානය             යොමු වූ ව්‍යාපෘතියක් කිව්වොත් මා නිවැරදියි. ශ්‍රී ලංකාවේ මානව හා සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා හැකි සෑම ආකාරයකින් ම සහයෝගය ලබා දීමට අප සූදානම්. අපි මේ රටේ වටිනාකම්, සංස්කෘතිය සහ ආචාර ධර්මවලට සැම විට ම ගරු කරන සමාගමක්.  එම නිසා ශ්‍රී ලාංකේය ජනතාවට සේවය ලබා දීම  අපගේ පරම වගකීම බව අපි තරයේ විශ්වාස කරනවා." යනුවෙනි.

    C.W. Mackie PLC සමාගම දේශීය හා විදේශීය කීර්තිමත් සන්නාම මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, සිය වසරක් පුරා පාරිභෝගිකයින් වෙතින් ඉමහත් ගෞරවාදරයක් ලබා ඇති සමාගමකි. ප්‍රධාන ධාරා කිහිපයක් යටතේ තම ව්‍යාපාරික කටයුතු සිදු කරන සමාගමක් වන C.W. Mackie PLC සමාගම ආහාර පාන හා පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ මෙන් ම ශ්‍රී ලාංකේය ආනයන අපනයන වෙළෙඳපොළ තුළ ද ප්‍රමුඛත්වයක් ලබා ගෙන සිටී.