CBL සමූහය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව 2020 සම්මාන උළෙලේදී පළමු ස්ථානය දිනාගනී

    April, 20, 2021

    පසුගියදා පැවැති 17 වැනි වාර්ෂික ‘විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන’ 2020 උළෙලෙහිදී ප්‍රථම ස්ථානය දිනාගැනීමට CBL සමූහය සමත්වී සිටී. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේදී තිරසාරතාවය හා විශිෂ්ට ආයතනික පුරවැසිභාවය වෙනුවෙන් පුද්ගලික අංශයෙහි ව්‍යාපාරික ආයතනයන් වෙත පිදෙන ඉහළම සම්මානය වන්නේ මෙයයි.

    CBL ආයතනය විසින් එහි සැපයුම් දාමයට සහ ඉන් ඔබ්බට යමින් එකතු කරන ලද අර්ථවත් වටිනාකම් සහ තිරසාරත්ව ව්‍යාපාර භාවිතාවන් වෙනුවෙන් සිදු කරන ලද දායකත්වය මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් කරන ලදී. අඛණ්ඩව වසර 14ක් පුරාවට විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට තේරී පත්වුණු CBL ආයතනය මෙවර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ CBL සමූහයේ තිරසාරත්ව ගමන් මඟෙහි සාර්ථකත්වයයි.

    “අපේ නිෂ්පාදන හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත  වලට අර්ථවත් වටිනාකම් එකතු කිරීමට අපි හැමවිටම උත්සහ ගන්නවා. එය අපිට තනිව යාහැකි ගමනක් නොවේ. අපගේ ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා සහයෝගය ලබා දෙන අපට ශක්තියක් වන සැපයුම්දාම පාර්ශවකරුවන් වගේම අපත් සමග දියුණුව වෙත යන අපගේ ව්‍යාපාරික හවුල්කරුවන් හා පාරිභෝගිකයින් කියන්නේ අපේ ව්‍යාපාරය සමග බැඳුනු වටිනා කොටසක්. විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරතා සම්මාන උළෙලෙහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ලැබීම ගැන අපි ඉතාමත් ආඩම්බරයට පත්වෙනවා.                ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන්නට  අපට සහයෝගය ලබාදෙන අපගේ ආදරණීය පාරිභෝගික ජනතාව වෙතද අපේ හදපිරි ස්තුතිය හිමි වෙනවා.” යනුවෙන් අදහස් දක්වා සිටියේ CBL සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මියයි.

    CBL සමූහය තම නිෂ්පාදන සඳහා අවශ්‍ය ධාන්‍ය වර්ග, පළතුරු වර්ග, එළවළු වර්ග සහ කුළුබඩු යනාදී කෘෂි අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා 13,000 කට අධික සම්ප්‍රදායික සහ කාබනික ගොවි ජාලයක් හා එක්ව කටයුතු කරයි. එමෙන්ම එම ගොවි ජනතාවට වඩාත් ස්ථාවර සහ සුරක්ෂිත ජීවනෝපායක් ළඟා කරගැනීම සඳහා ද CBL සමූහය සුවිශේෂී දායකත්වයක් ලබාදේ. 2019/20 මුල්‍ය වර්ෂය තුලදී පමණක් CBL සමූහය රුපියල් බිලියන 6කට වැඩි වටිනාකමින් යුතු කෘෂි නිෂ්පාදන අපගේ දේශීය ගොවීන්ගෙන් මිලදී ගෙන තිබේ. ඊට අමතරව රුපියල් බිලියන 2.5ක මුදලක් ආයෝජනය කරමින් CBL සමූහය, කෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි යාන්ත්‍රිකකරණ, ස්වයංක්‍රීයකරණ හා තරගකාරීත්වය ඉහළ නැංවීම වෙනුවෙන් දායක වී ඇති අතර, ගොවීන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හා යහපැවැත්මක් ඇතිකිරීම වෙනුවෙන් ‘ගොවි පවුල’ වැඩසටහන හරහා දායකත්වය ලබා දෙයි.

    පසුගිය මුල්‍ය වර්ෂය අවසානයේදී කොවිඩ් වසංගතය හමුවේ රට වසා දැමීමත් සමඟ රටෙහි සියලුම කර්මාන්තශාලාවල කටයුතු නතර වුනි. කෙසේ නමුත් CBL සමූහය මෙම සෑම අභියෝගයකටම  සාර්ථකව මුහුණ දෙමින්  සියලුම සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගත වෙමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු නැවත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට සමත් වීම විශේෂත්වයකි. ආහාර නිෂ්පාදනයේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙස අභියෝගකාරී තත්වය හමුවේ වුවද තම නිෂ්පාදන හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට CBL සමූහය සමත් වුනි. මෙහිදී පාරිභෝගික ජනතාවට වඩාත් අවශ්‍ය ආහාර වර්ග නිෂ්පාදනය සඳහා මෙහයුම් කටයුතු විධිමත් ලෙස සකස්  කරගනිමින් සහ 6000 කට අධික CBL පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතතාවද තහවුරු කරමින් සියලු කටයුතු මැනවින් කළමනාකරණය කරගැනීමට CBL සමුහය කටයුතු කරන ලදී. සම්පත් පරිභෝජනය හා අපතේ යෑම් අවම කරගැනීමට සමූහය වැඩි ප්‍රමුඛතාවයක් ලබා දෙන අතර, පුනර්ජනනීය බලශක්ති භාවිතය, ගොවි කටයුතු වලදී වන පාරිසරික බලපෑම් අවම කිරීම සහ නාස්තිය කළමනාකරණය කරගැනීම සඳහා විශාල වශයෙන් ආයෝජනයන්ද සිදු කරන ලදී.

    CBL ආයතනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එක්ව ආරම්භ කරන ලද "සෙනෙහසින් ජයමග" වැඩසටහන හරහා සුළු හා මධ්‍ය පරිමාණ සිල්ලර හා බෙදාහැරීමේ ව්‍යාපාරිකයින් 5,000කට වැඩි ප්‍රමාණයකගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමට කටයුතු කෙරේ. 2023 වර්ෂය වන විට මෙම ව්‍යාපෘතිය මගින් සිය බෙදාහැරීම් ජාලයෙහි 40%කට ආසන්න ප්‍රමාණයක් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද භාවිතය සඳහා යොමුකරවීමට හා සිය බෙදාහැරීම් ජාලයට සම්බන්ධ කාන්තාවන් සංඛ්‍යාත්මකව දෙගුණ කිරීමට  CBL සමූහය ඉලක්කකර ඇත.

    CBL සමූහයේ නිෂ්පාදන සන්නාමයන් සිය ප්‍රජාවගේ දියුණුව සහ සංවර්ධනය උදෙසා විශාල කාර්යභාරයක් සිදු කරනු ලබයි. මන්චි සන්නාමය මූලිකත්වයෙන් සිදුකරන ‘මන්චි ටිකිරි ශිෂ්‍යාධාර’ යනු පුද්ගලික අංශයේ දැවැන්තම අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන වන අතර, මේ වන විට ඒ හරහා පිරිනමා තිබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය 3,000 ඉක්මවයි. ‘මන්චි සමග ගමට සරණ’ වැඩස‍ටහන මගින් ග්‍රාමීය ප්‍රදේශයන්හි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා සැලකිය යුතු දායකත්වයක් සපයන CBL සමූහය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි දියුණුව වෙනුවෙන් රිට්ස්බරි සන්නාමය හරහා විශාල දායකත්වයක් ලබා දෙයි. සමපෝෂ, නියුට්‍රිලයින්, ලංකාසෝයි හා සේරා යන සන්නාමයන් ඔස්සේ වඩාත් පහසු සහ පෝෂණයෙන් පිරි ආහාර පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන අතරම හොඳ ආහාර පුරුදු සමාජය තුල ප්‍රචලිත කිරීම සඳහාද සුවිශේෂී මෙහෙයක් ඉටු කරයි.

    CBL සමූහය මෙම සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ පළමු ස්ථානයද දිනා ගන්නා ලදී. ඉහළ තරඟකාරීත්වයක් ඇති මෙම සම්මානයන් සඳහා ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සහ ලැයිස්තුගත නොවන සමාගම් රැසක් අයදුම් කරන අතර, ඉතාමත් පුළුල් නිර්ණායක රැසක් යටතේ ඇගයීම් කටයුතු සිදු කෙරේ.

    ඡායාරූපය: විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මානය සමග CBL කණ්ඩායම