CDB අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට නම්කෙරේ

    March, 13, 2023

    • ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී හිමි වූ ජයග්‍රහණයක්

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC - CDB) අඛණ්ඩව 5 වන වරටත් විශිෂ්ටතම ආයතනික පුරවැසියන් දස දෙනා අතරට එක්වීමට පසුගියදා සමත් විය. ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2022 ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී මෙම ඇගයීම CDB සමාගම වෙත හිමි වූ අතර, ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් මෙහි ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි.  ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරන ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන මෙම විශිෂ්ටතම ආයතනික පුරවැසි ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.

    මෙම සම්මාන උළෙල පැවැත්වුණු 19 වන අවස්ථාව මෙය වන අතර, මීට පෙරද CDB සමාගම විවිධ අවස්ථාවලදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන හා ඇගයුම්වලින් පිදුම් ලබා තිබේ. මෙය People-Planet-Profit යන මූලිකාංග තුන ඔස්සේ තිරසාරත්වය වෙනුවෙන් සමාගම දක්වන කැපවීමට මනා සාක්ෂියකි. මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් නම්කරනු ලබන්නේද ඉහත සඳහන් සාධක මුල්කරගත් ක්‍රියාපටිපාටියක් අනුව වන අතර, මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයක් මගින් ඇගයීමට ලක්වීම, ව්‍යාපාර ලෝකය තුළ තිරසාරත්වයේ නියමුවෙකු ලෙස CDB සමාගම සතු කැපවීම නැවත වරක් තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්විය හැකි වේ.

    තම පාර්ශවකරුවන් සියලුම දෙනාගේ යහපතට මුල්තැන දෙන, මීළඟ දශකය ඉලක්ක කරගත් ව්‍යාපාර ක්‍රමෝපායක් මත CDB සමාගමේ තිරසාරත්ව ප්‍රවේශය පදනම් වී ඇත. ‘CDB Advance’ ලෙස හැඳින්වෙන CDB සමාගමේ තිරසාරත්ව ක්‍රමෝපාය, එහි ප්‍රධාන ව්‍යාපාරික ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක්වන අතර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක 17 අතරින් 7 ක් එමගින් ආවරණය වේ.

    ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් බලගැන්වීම යන පුළුල් අරමුණ මත CDB සමාගමේ සමස්ත ව්‍යාපාර ආකෘතිය ගොඩනැංවී ඇති අතර, බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම මුල්ය සේවා හා තාක්ෂණ ඊට ඇතුළත් ය. CDB සමාගම මේ වනවිට භාවිතයට ගෙන ඇති තාක්ෂණික ක්‍රමෝපාය ද එහි තිරසාරත්ව න්‍යායපත්‍රයට ආවේණික ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකි වේ.

    හරිත ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටින CDB සමාගම, ‘CDB Advance Roof Solar’ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඔස්සේ රටේ බලශක්ති අර්බුදය විසඳීමට දායක වෙමින්, ගෘහස්ථ මට්ටමින් පුනර්ජනනීය බලශක්ති භාවිතය දිරිගැන්වීමටත්, තිරසර ප්‍රවාහන විසඳුම් වැඩිදියුණු කිරීමටත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී. CDB සමාගම ජෛව විවිධත්වය සහ පරිසර සංරක්ෂණය සඳහා ද සුවිශාල දයකත්වයක් දක්වන අතර, චක්‍රීය ආර්ථික ක්‍රමවේදය ඔස්සේ වඩාත් කාර්යක්ෂම ලෙස සම්පත් භාවිත කරන සමාගමක් බවට පත්වීම එහි එක් ප්‍රධානතම අරමුණකි.

    තම සමාජයීය වගකීම් සපුරාලීම සඳහා CDB සමාගම දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම, අධ්‍යාපනය හා සාක්ෂරතාව, ව්‍යවසායකයන්, තරුණ තරුණියන් හා කාන්තාවන් සවිබල ගැන්වීම යන අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇත. එමෙන්ම සමාගම ක්‍රියාවට නංවන ප්‍රජා සත්කාර සඳහා දායක වීමට එහි කාර්යමණ්ඩලය යොමුකරවන සාධනීය ආයතනික සංස්කෘතියක් සමාගම තුළ පවතින අතර, එම නිසා තිරසාරත්වය සම්බන්ධයෙන් වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට යාමට සමාගමට හැකියාව ලැබී ඇත. සිය ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්යමණ්ඩලය යන සියලු පාර්ශ්ව මගින් ලබාදෙන දායකත්වය සමඟින් CDB සමාගම, සුහුරු සහ තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට අඛණ්ඩව උරදෙමින් සිටී. People-Planet-Profit සංකල්පය ඔස්සේ තිරසාරත්වය තුළින් ප්‍රායෝගික වෙනස්කම් ඇතිකිරීමට කැපවෙමින්, වැඩි පිරිසක් වෙත මුල්‍ය සේවා සමීප කරවීමටත්, හරිත ආර්ථිකයේ වර්ධනයට දායක වීමටත් CDB සමාගම කටයුතු කරන අතර, ඒ ඔස්සේ තම ගනුදෙනුකරුවන්ගේ මෙන්ම ප්රජාවගේ සහ දේශයේ අනාගත අභිලාෂයන් බලගැන්වීමට දැවැන්ත දායකත්වයක් ලබාදීම CDB සමාගමේ පරමාර්ථය වී ඇත.

    ජයග්‍රාහී CDB කණ්ඩායම සම්මානය සමග

     

    ඡායාරූපය: CDB සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා තිරසාරත්ව) චරිත වර්ණකුලසූරිය මහතා, සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති Jean-François Pactet සහ ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි යන මහත්වරුන් අතින් සම්මානය ලබාගත් අවස්ථාව. උප සභාපති දුමින්ද හුලංගමුව සහ නියෝජ්‍ය උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරු ද ඡායාරූපයෙහි වෙති.