CDB කණ්ඩායම් සාමාජිකයින් තුළ තිරසර අනාගතයක් සඳහා ආකල්ප වර්ධනය කරමින් CDB Advance Green Challenge වැඩසටහන සාර්ථකව නිම වේ

    June, 19, 2023

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC - CDB) තම කණ්ඩායම් සාමාජිකයින් ඒකරාශී කරගනිමින් ක්රියාවට නැංවූ CDB Advance Green Challenge වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවති මෙහි අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ‘Global Strategic Corporate Sustainability’ පුද්. සමාගමේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය රවී ප්‍රනාන්දු මහතා සහභාගී විය. CDB සමාගමේ කණ්ඩායම් සාමාජිකයින් තුළ තිරසර අනාගතයක් සඳහා ආකල්ප වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබිණි.

    CDB Advance Green Challenge යනු CDB සමාගමේ තිරසාරත්ව න්‍යායපත්‍රය යටතේ ක්‍රියාවට නංවන ලද ප්‍රධානතම වැඩසටහන් අතරින් එකක්වන අතර, එය ක්‍රියාවට නැංවීමට සමාගමේ කණ්ඩායම් සාමාජිකයින්ගේ දායකත්වය ලබාගන්නා අතරම, පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිතයට ඔවුන් යොමුකරවීමට එහිදී උත්සාහ දරන ලදි. එමෙන්ම එය පරිසරයේ හා සමාජයේ යහපත වෙනුවෙන් CDB සමාගමේ සාමාජික සාමාජිකාවන් දක්වන උනන්දුව හා කැපවීම ප්‍රදර්ශනය කිරීමට ලැබුණු අගනා වේදිකාවක්ද විය.

    "Engage Mindful Team Members" යන තේමාව රැගත් CDB Advance Green Challenge වැඩසටහන, තිරසාර අනාගතයක් වෙනුවෙන් කැපවන අතරම දේශගුණික විපර්යාස අවම කිරීමට සක්‍රීයව මැදිහත් වීමට අවශ්‍ය දැක්ම හා ආකල්ප වර්ධනය කරවීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. එමෙන්ම CDB සාමාජික සාමාජිකාවන් තුළ පරිසරය රැකගැනීම පිළිබඳව සැබෑ උනන්දුවක් ඇතිකරමින්, සිය වෘත්තීය ජීවිතයේදී මෙන්ම පෞද්ගලික ජීවිතයේදීද යහපත් වෙනසක් සඳහා පෙරමුණ ගන්නා නියෝජිතයන් ලෙස කටයුතු කිරීමට ඔවුන් දිරිගැන්වීමද මෙමගින් සිදුකරන ලදි.

    අවසන් මහා තරගයේදී අදහස් දක්වමින්, CDB සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි සහ තිරසාරත්ව) චරිත වර්ණකුලසූරිය මෙසේ පැවසී ය. “තිරසාරත්වය යනු CDB සමාගම විශාල වැදගත්කමක් ලබාදෙන සංකල්පයක්වන අතර, එය අපගේ ව්‍යාපාර ක්‍රමෝපායේ අනිවාර්ය අංගයක් වේ.  තිරසාරත්ව සංකල්පවලට අනුව කටයුතු කිරීමට අපගේ කණ්ඩායම් සාමාජිකයින් යොමුකරවීමත් ඒ තරමටම වැදගත්. CDB Advance Green Challenge වැනි වැඩසටහන් ඔස්සේ අපගේ සාමාජික සාමාජිකාවන්ගේ දැනුම වර්ධනය කරන අතරම, තිරසාර ලෙස ජීවත් වීමේ වැදගත්කම ඔවුන්ට අවබෝධ කරවීමට අප උත්සාහ කරනවා. මේ පණිවිඩය වඩාත් හොඳින් සන්නිවේදනය කිරීම සඳහා අප මෙම වැඩසටහනට ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්, හරිත විවාද තරගයක් සහ කෙටි චිත්‍රපට තරගයකුත් ඇතුළත් කළා. මෙමගින් අපගේ සාමාජික සාමාජිකාවන්ට දීර්ඝකාලීන යහපත් බලපෑමක් ඇතිවනු ඇතැයි කියා මා සිතනවා.”

    CDB Advance Green Challenge තරගාවලියේ මූලික වටය පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ විය. පරිසර හිතකාමීත්වය මුල්කරගත් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, විවාද තරග සහ කෙටි චිත්‍රපට තරග ඇතුළු අංග රැසකින් සමන්විත වූ මෙම තරගාවලියට, දිවයින පුරා විසිරුණු CDB ශාඛාවල සේවය කරන සාමාජික සාමාජිකාවන් 400 කට අධික පිරිසක් ඉමහත් උනන්දුවකින් යුතුව සහභාගී වූහ. ඉතාමත් උණුසුම් තරග වට කිහිපයකින් අනතුරුව, ප්‍රශ්න විචාරාත්මක තරග අංශයේ කණ්ඩායම් 4 ක්, විවාද අංශයේ කණ්ඩායම් 4 ක් සහ කෙටි චිත්‍රපට 6 ක් අවසන් වටයට සුදුසුකම් ලැබී ය.

    පරිසර හිතකාමීත්වය සම්බන්ධ දැනුම හා තිරසාර ආකල්ප මුල්කරගත් අවසන් වටයද ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් අතර, අවසානයේදී CDB සමාගමේ Recovery අංශය නියෝජනය කළ කණ්ඩායම ප්‍රශ්න විචාරාත්මක තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය. එහි දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි ස්ථාන දිනාගන්නා ලද්දේ පිළිවෙළින් Risk and Compliance ,Internal Audit සහ Finance කණ්ඩායම් විසිනි. UN Global Compact Network Sri Lanka හි හවුල්කාර සාමාජික (දේශගුණය සහ ජලය) අම්ජාඩ් අස්මීර් මහතා සහ Biodiversity Sri Lanka හි උපදේශිකා ශිරානී යසරත්න මහත්මිය විසින් මෙහි විනිශ්චය කටයුතු සිදුකරන ලදි.

    විවාද තරගාවලියේ සිංහල භාෂා අංශයේ ජය CDB සමාගමේ Contact Center කණ්ඩායමටද, දෙමළ භාෂා අංශයේ ජය වැල්ලවත්ත ශාඛාවේ කණ්ඩායමටද හිමි වූ අතර, Legal කණ්ඩායමට සහ ත්‍රිකුණාමලය කණ්ඩායමට එහි දෙවැනි ස්ථානයන් හිමි විය. සිංහල අංශයේ  ජයග්‍රාහකයන් තෝරාගන්නා ලද්දේ නීතීඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා වන අතර, MBC මාධ්‍ය ජාලයේ ශක්ති නාලිකා ප්‍රධානී අයි. ගජමුගන් මහතා දමිළ අංශයේ තරගකරුවන් විනිශ්චය කිරීමට එක්විය.

    ගෞරවණීය සඳහන් යටතේ, Contact Center කණ්ඩායමේ කේ. වයි. කවීෂා නෙත්මිණි සහ ත්‍රිකුණාමල කණ්ඩායමේ පී. කජෙන්තිකා පිළිවෙලින් හොඳම සිංහල සහ දමිළ  විවාදකයින් ලෙස සම්මාන දිනාගත්හ.

    හරිත ප්‍රශ්න විචාරාත්මක තරගාවලියට සමගාමීව පැවැත්වුණු කෙටි චිත්‍රපට තරගාවලියට දිවයින පුරා CDB ශාඛාවන්හි සාමාජික සාමාජිකාවන් වෙතින් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබිණි. මුල් අදියරවලදී ඉදිරිපත් වුණු කෙටි චිත්‍රපට රාශිය අතරින් අවසන් වටයට තේරුණු කෙටි චිත්‍රපට 6 ක් අවසන් මහා තරගය පැවති අවස්ථාවේදී ප්‍රදර්ශනය කරන ලදි. එම තරගය විනිශ්චය කිරීමට සියත ටීවී අධ්‍යක්ෂ කැලුම් පාලිත මහතා එක් වූ අතර, යාපනය ශාඛාවෙන් ඉදිරිපත් වූ කෙටි චිත්‍රපටයට තරගයේ ජයග්‍රහණය හිමි විය. මෙහි දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගන්නා ලද්දේ පිළිවෙළින් මොරටුව ශාඛාව සහ මාවතගම ශාඛාව විසිනි.

    වඩාත් පරිසර හිතකාමී හා සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීමට නම් සාමූහිකව කටයුතු කළ යුතු බව විශ්වාස කරන CDB සමාගම, එම විශ්වාසය ඔස්සේ තිරසාර වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා විශාල වශයෙන් කාලය හා ශ්‍රමය කැප කරයි. මෙම වැඩසටහන් සාර්ථක කරගනිමින්, ආයතනය තුළ මෙන්ම ඉන් පිටතද සුභවාදී වෙනස්කම් ඇතිකිරීම සඳහා සමාගමේ සාමාජික සාමාජිකාවන්ගෙන් ලැබෙන දායකත්වය සුවිශාල ය. CDB Advance Green Challenge යනු එම දායකත්වය මැනැවින් නිරූපණය වූ තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.