CDB ‘රන්කැටි සිත්තම් රූ’ සාර්ථක ලෙස අවසන් වෙයි

    November, 24, 2021

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ ඩිජිටල් චිත්‍ර තරඟය 2021 ඔක්තෝබර් 09 දින සජීවී ෆේස්බුක් විකාශයක් සමගින් සාර්ථක ලෙස අවසන් විය. මෙහි අරමුණ වුයේ ළමා මනසේ ඇති  නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමට දිරි ගැන්වීමයි. දරුවන්ගේ සක්‍රීය දායකත්වය සහිතව පවත්වන ලද මෙම වැඩසටහන තුළදී, දිවයින පුරා දරු දැරියන් තරඟය සඳහා ඉදිරිපත් කරන ලද චිත්‍ර ප්‍රදර්ශනය කරන ලදි.

    නිසි ඥානාන්තමක කුසලතා වර්ධනය කරගැනීමට නම් කුඩා අවධියේදීම නිර්මාණාත්මකව තම අදහස් ප්‍රකාශ කිරීමට දරුවන්ට අවස්ථාව තිබිය යුතු ය. කෙසේ වුවද COVID-19 හේතුවෙන් නිවෙස් වල රැඳී සිටීමට සිදුවී තිබීම නිසා දරුවන්ට එලෙස තම අදහස් ප්‍රකාශ කිරීමට ලැබෙන අවස්ථාවන් සීමිත වී තිබේ. මෙම ගැටලුව මැනැවින් වටහාගත් CDB සමාගම, දරුවන්ට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ තම නිර්මාණශීලී අදහස් ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා රන්කැටි සිත්තම් රූ තරගය සංවිධානය කළේ . රේණුකා බාලසූරිය සහ ප්‍රගීත් රත්නායක යන ප්‍රවීණයන්ගේ දායකත්වය සහිතව පැවැත්වුණු මෙම වැඩසටහන හුදෙක් චිත්‍ර තරඟයක් හෝ ප්‍රදර්ශනයක් පමණක් නොව, දරුවන්ට අන්තර්-ක්‍රියාකාරී ලෙස දැනුම හා විනෝදාස්වාදය ලබාදුන් සුවිශේෂී ඉසව්වක් විය.

    ‘CDB රන්කැටි සිත්තම් රූ 2021’ චිත්‍ර තරගය වයස අවුරුදු 5 ත් 12 ත් අතර දරුවන් සඳහා විවෘත වූ අතර, 1000 කට අධික තරගකරුවන් පිරිසක් ඊට සහභාගී වූහ. අතරින් නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ චාමික තෙහාන් (වයස අවුරුදු 5) ප්‍රථම ස්ථානය දිනාගත් අතරගාල්ල ගෝනගල මහා විද්‍යාලයේ නෙත්රූ සදිල්ක (වයස අවුරුදු 8) සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ගන්ගුල් ධනෝද්‍ය (වයස අවුරුදු 12) පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් වූහ.

    රටේ පවතින COVID-19 තත්ත්වය හමුවේ CDB සමාගම දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ප්‍රශංසනීයයි. චිත්‍ර කලාව යනු දරුවන්ට බොහෝ දේ කියා දෙන සුවිශේෂී විෂයක්. දරුවන් සිතන්නට පෙළඹවීම ඉතා හොඳ දෙයක් බව මා විශ්වාස කරනවා. පවතින තත්ත්වය හේතුවෙන් ඒකාකාරී ජීවන රටාවක සිරවී සිටින දරුවන්ට මෙම වැඩසටහන මගින් නිර්මාණශීලී ලෙස සිතීමට සුවිශේෂී අවස්ථාවක් ලැබුණා. රන්කැටි සිත්තම් රූ තරගයේ සාර්ථකත්වය වෙනුවෙන් මා CDB සමාගමට සුබ පතන අතර, මෙය වාර්ෂිකව සංවිධානය කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.” වැඩසටහන මෙහෙයවූ රේණුකා බාලසූරිය මහත්මිය පැවසුවාය.

    රටේ අනාගත පරපුරේ දක්ෂකම් මෙලෙස දැකගැනීමට හැකිවීම සිත් වසඟ කරන අත්දැකීමක් වුණා. තරඟයට ඉදිරිපත් වූ සිතුවම් හුදෙක් චිත්‍ර ලෙස පමණක් හඳුන්වන්නට බැහැ. ඒවා සියල්ලෙහිම අපූර්ව කතන්දර ගැබ්වී තිබුණා. පවතින වසංගත තත්ත්වය හමුවේ නිවෙස් වලට කොටුවී සිටීමට සිදුවීම මේ කුඩා දරුවන්ගේ මනස් වලට විශාල බලපෑමක් ඇතිකර තිබෙන්නට පුළුවන්. තරගයේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කිරීමේදී මේ චිත්‍ර ඔවුන්ගේ ඇසින් දකිමින්, අතරින් විශිෂ්ටතම චිත්‍ර තෝරාගැනීමට මා කටයුතු කළා. චිත්‍ර සියල්ලම ඉතාමත් අලංකාර නිර්මාණ වූ නිසා, ජයග්‍රාහකයන් තෝරාගැනීමට පහසු දෙයක් වූයේ නැහැ. දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීමට CDB සමාගම කටයුතු කිරීම සැබැවින්ම අගය කළ යුතුයි.” තරගයේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් රත්නායක මහතා පැවසී .

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) සමාගම කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති සමාගමකි. එය ලංකාවේ ප්‍රමුඛ පෙළේ ‘Top Ten Corporate Citizens of Sri Lanka’ ලැයිස්තුවටද ඇතුළත් වී සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර 30 අතරට මෙන්ම මෙරට විශාලතම බැංකු නොවන මුල්‍ය ආයතන 5 අතරටද ඇතුළත් වී ඇති එම සමාගම මේ වනවිට දිවයින පුරා තම සේවාවන් ව්‍යාප්ත කර තිබේ. තිරසාර ව්‍යාපාරික ක්‍රමෝපායික රාමුවක් තුළ කටයුතු කරන CDB සමාගම තම සේවාවන් සඳහා නවීනතම තාක්ෂණික පදනමක් භාවිතා කරයි. CDB පිළිබඳ වැඩිදුර තොරතුරු සහ මුල්‍ය-තාක්ෂණ (FinTech) ක්ෂේත්‍රයේ අප කරන පෙරළිකාර පරිවර්තනය පිළිබඳව දැනගැනීම සඳහා www.cdb.lk වෙත පිවිසෙන්න.