Centrum Marine සිය නවීන සංකල්පීය මූලස්ථානය දියත් කරමින් නව අදියරකට පිවිසෙයි

    July, 27, 2023

    ශ්‍රී ලංකාවේ සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා සපයන ප්‍රමුඛතම ආයතනයක් වූ Centrum Marine Consultancy ආයතනය නව්‍ය සංකල්පීය ගොඩනැංවීම් සහිත සිය මූලස්ථාන ගොඩනැගිල්ල අංක 446, ආර්.ඒ ද මෙල් මාවත, කොළඹ 03 ස්ථානයේ ‘446 Centrum Haus’ නමින් සුබ මොහොතින් විවෘත කරන ලදී.

    ගරු. වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සුබ මොහොතින් මෙම මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත වූ අතර,  Centrum Marine Consultancy ආයතනයේ නිර්මාතෘ/ කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා, තානාපති සේවාවේ ප්‍රභූන්, විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු ආයතනයේ සේවක මණ්ඩලය මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය. නවීන අංගෝපාංග සහිතව, සියලු පහසුකම්වලින් පරිපූර්ණව නව්‍ය ගෘහ නිර්මාණ සංකල්පයකට අනුව නිමැවූ මෙම ගොඩනැගිල්ල තුළින් සාගර වෘත්තීය මානව සම්පත් කළමනාකරණයට නව ප්‍රවේශයක් විවර වෙයි. ගෝලීය නැව් හිමිකරුවන් සහ කළමනාකාරවරුන් මුහුණදෙන බඳවාගැනීම්, ස්ථානගත කිරීම් සහ වෘත්තිකයන් පවත්වාගැනීම් ආදී වූ සංකීර්ණ මානව සම්පත් අභියෝග සියල්ලටම විසඳුම් සොයාගැනීමට සහ ඒවා විශේෂඥ වෘත්තීයභාවයකින් හැසිරවීම සඳහා මෙම ස්ථානයේ සියලු පහසුකම් ගොඩනංවා ඇත.

    ලොව පිළිගත් නැව් සමාගම් විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකීය සමුද්‍ර වෘත්තීයවේදීන් 16000කට අධික ප්‍රමාණයක් සක්‍රීයව සේවය කරන අතර එම සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙයි. සමුද්‍ර වෘත්තීයවේදීන් පිළිබඳ සැළකීමේ දී වඩාත් ඉහළ වෘත්තීයභාවයක් සහිත විශ්වාසනීය වෘත්තිකයන් සිටින රටක් ලෙස සියලු දෙනාගේ විශ්වාසය වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. සාගර වෘත්තීය අධ්‍යාපනය සහ ඊට අදාළ වූ යටිතල පහසුකම් වර්ධනය වීම මෙන්ම ඉහළ පුහුණුකිරීම් ක්‍රියාවලිය නිසාම ශ්‍රී ලාංකික සමුද්‍ර වෘත්තීයවේදීන් ලෝකයේ සිටින ඉහළම තලයේ වෘත්තිකයන් ලෙස ලොව පුරා ඇගයීමට ලක්වී තිබේ.

    2020 දී කාලිංග ද සිල්වාගේ සංකල්පයක් මත ගොඩනැංවූ Centrum Marine Consultancy ආයතනය නාවික මානව සම්පත් සේවා ලබාදෙන අතර වසර 45කට වැඩි වෘත්තීය අත්දැකීම්වලින් සැදුම්ලත් කණ්ඩායමක් මෙහි මෙහෙයුම් කටයුතු සිදුකරයි. ශ්‍රී ලාංකීය සමුද්‍ර වෘත්තීයවේදීන්  ගෝලීයව පිළිගත් නාවික වෘත්තිකයන් ලෙස ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ආයතනය ඉතා විශාල කැපකිරීමක් සිදුකරයි. ලොව පිළිගත් පුහුණුවීම් සහ වෘත්තීය අත්දැකීම් ශ්‍රී ලාංකික නාවික වෘත්තිකයන්ට ලබාදෙමින් වඩාත් මිත්‍රශීලිව සහ විශ්වාසවන්තව ගෝලීය නැව් හිමිකරුවන්ගේ සහ කළමනාකරුවන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමට මග කියාදෙමින් ශ්‍රී ලංකාව වඩාත් උසස් වෘත්තීයභාවයක් සහිත නාවික වෘත්තිකයන්ගේ තෝතැන්නක් බවටත් ගෝලීය නාවික කර්මාන්තය වෙනුවෙන් හොඳ තෝරාගැනීම් ස්ථානයක් බවටත් පත් කිරීමට Centrum Marine Consultancy ආයතනය සියලු කැපකිරීම් සිදුකරයි.  

    ආයතනයට සම්බන්ධිත සියලුම පාර්ශවයන්ට වඩාත් ඵලදායී සහ පිරිවැය කාර්යක්ෂමතාවක් ලබාදීම වෙනුවෙන්  නාවික කර්මාන්තයේ වෙනස්වන බාහිර සහ අභ්‍යන්තරික ගතිකයන් සහ මෙහෙයුම් ක්‍රියාවලීන්ට ඉක්මනින් ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර තත්ත්වයේ නාවික වෘත්තීය මානව සම්පත් විසඳුම් හඳුන්වා දී සුමට සහ ක්‍රියාශීලි වෙළඳ මෙහෙයුම් ආකෘතියකින් යුතුව Centrum Marine Consultancy සියලු සේවා සිදුකරයි.  MLC 2006  අනුකූලතාව සහිත Centrum Marine  ආයතනය  ISO 9001: 2015 තත්ත්ව සහතිකය සහ Neptune ප්‍රකාශනයට අත්සත් තබා ඇත.  Centrum Marine  ශ්‍රී ලංකාවේ වාණිජ නාවික ලේකම් කාර්යාලයේ  “Certificate of Authorization -COA” සහතිකලත් ඉතාම සුළු ආයතන අතරින් එක් ආයතනයකි.

    මෙම නව මූලස්ථානය විවෘත කිරීම පිළිබඳ සිය අදහස් දැක්වූ Centrum Marine Consultancy ආයතනයේ නිර්මාතෘ/කළමනාකාර අධ්‍යක්ෂ කාලිංග ද සිල්වා මහතා, “අපගේ වාණිජ මෙහෙයුම් ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ මෙම සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීමට වසර කිහිපයක් පුරා වෙහෙස වුණු මගේ කණ්ඩායමේ සියලු දෙනාටම මේ නවීන මූලාස්ථාන ගොඩනැගිල්ල විවෘත කරන මොහොතේ දී මගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි. මම මේ ආයතනය ගොඩ නැංවූයේ දශකයක් පුරා ජර්මන්-ශ්‍රී ලංකා නැව්හිමි/කළමනාකාර ආයතනයක සේවය කිරීමෙන් ලබාගත් වෘත්තීය නිපුණතාවය සහ ගෝලීය අත්දැකීම්වලින් පසුවයි. ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතාවයන් සහ වෘත්තීය නිපුණතාවයකින් හෙබි වෘත්තීයවේදීන් ලබාදීමේ සහතිකය තහවුරු කරමින් රටක් ලෙස ශ්‍රී ලාංකික නාවික වෘත්තිය ඉහළින්ම ස්ථානගත කිරීමේ මගේ සිහිනය වෙනුවෙන් මම රට රටවල් ගණනාවකට ගොස් ගෝලීය නැව් හිමියන් අතර අපේ නාවික වෘත්තිකයන්ට තැනක් ලබාදෙන්න විශේෂයෙන් කැපවුණා. එම කාලයේ මම දැකපු දෙයක් තමයි, අපේ දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නාවික වෘත්තිකයන් කළමනාකරණය කිරීමේ දී යම් යම් අඩුලුහුඬුකම් තියනවා කියන එක. මේ නිරීක්ෂණ අනුව මට හිතුන දෙයක් තමයි අපගේ සමුද්‍ර  වෘත්තීයවේදීන්  වෙනුවෙන් වෘත්තීය කාර්යාලයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම. අපේ නාවික වෘත්තිකයන් තමන්ගේ නාවික ගමන අතරතුර හෝ ගොඩබිමකට සම්ප්‍රාප්ත වූවාට පසුව හෝ යම් වෘත්තීය පැහැදිලි කරගැනීමක් සඳහා ඇමතීමට හෝ දැනුමක් ලබාගැනීමට ඉඩ ලැබෙන, ඔවුන්ට ම අයත් යයි හැඟීමක් ඇති වන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කාර්යාලයක් අපගේ සමුද්‍ර වෘත්තීයවේදීන්ටත් තිබිය යුතු බව මම විශ්වාස කළා. නවීන අංගෝපාංග වලින් සමන්විත මේ නව්‍ය ගොඩනැගිල්ල නිර්මාණ කළෙත් ඒ නිසාමයි.  ඔවුන් වෘත්තීයමය වශයෙන් ශ්‍රී ලංකාවට සම්බන්ධ කරන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කාර්යාලයක් දැන් ඔවුන් සතුව තිබෙනවා.” යනුවෙන් පැවසීය.

    Centrum Marine ආයතනය සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවාල නාවික තැරැව්කාර සහ වාණිජ සේවා සැපයුම් යන ව්‍යාපාර අංශ තුන ඔස්සේ සිය මෙහෙයුම් පවත්වාගෙන යයි. සාගර වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා හරහා නාවික සේවකයන් සමග ශක්තිමත් සබඳතාවයක් පවත්වා ගනිමින් නැව් හිමියන්ගේ සහ කළමනාකරුවන්ගේ කෙටි කාලීන සහ දිගු කාලීන නාවික සේවක අවශ්‍යතා නිසි පරිදි සපුරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලාංකික නාවික වෘත්තීයවේදීන්ව කළමනාකරණය කරයි. නාවික තැරැව්කරණය තුළින් නැව් හිමියන් සහ ප්‍රධාන නැව් තැරැව්කාර සමාගම් සමග එක්වී නැව්වලට සහ කාල සටහන්වලට කාර්යක්ෂම සේවාවක් ලබාදෙයි. පාරිභෝගික භාණ්ඩ වන සිමෙන්ති ක්ලින්කර්, සිමෙන්ති තොග, ජිප්සම් සහ ගල් අඟුරු ආදී භාණ්ඩ විශාල සංඛ්‍යාවක් නාවික මෙහෙයුම් කටයුතුවලදී ප්‍රවාහනය සහ සම්පත් දායකත්වය කාර්යක්ෂම කිරීමට වාණිජ සේවා සැපයුම් අංශය තුළින් හැකියාව ලැබෙයි.