Christell සමූහය Christell International Institute විවෘත කරයි: ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට mesoestetic age element® ප්‍රතිකර්මයද හඳුන්වා දෙයි

    May, 29, 2023

    ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ රූපලාවණ්‍ය ප්‍රතිකර්ම මධ්‍යස්ථානය වන Christell Skin Clinic පසුගියදා ‘Christell International Institute’ නමින් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කළේ ය. මීට සමගාමීව පෙරළිකාරී mesoestetic age element® ප්‍රතිකර්ම ක්‍රමය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමද සිදු විය.

    වසර 30 කට අධික කාලයක් රමණි අර්සකුලරත්න ජාත්‍යන්තර පුහුණු ආයතනය (Ramani Arsecularatne International Academy) මගින් ඉටුකරන ලද මෙහෙවරෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන් Christell International Institute විවෘත කරන ලදී. මෙහිදී ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රූපලාවණ්‍ය සම්බන්ධ විවිධාකාර පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර, ඒ ඔස්සේ එය මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට මහඟු දායකත්වයක් දක්වනු ඇත.

    2023 මැයි 10 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති විශේෂ උත්සවයකදී, ලොව නවතම anti-aging facial ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ mesoestetic හි පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබීමට Christell International Institute හි පළමු කණ්ඩායමට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව උදා විය. පේටන්ට් බලපත්‍ර හිමි ‘Epigenetic’ ගුණය සහිත age element® anti-aging විසඳුම සමෙහි වියපත් භාවය පෙන්වන ලක්ෂණ අවම කරන අතර, වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ රුව අලංකාර කරයි. නවීනතම රූපලාවණ්‍ය වෛද්‍ය තාක්ෂණයන්ගෙන් පන්නරය ලැබූ මෙම ප්‍රතිකර්මය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ සියලුම රූපලාවණ්‍ය මධ්‍යස්ථාන වෙතින් ලබාගැනීමට හැකි වනු ඇත.

    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් විසින්, ලොව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් පිළිබඳව පුළුල් අවබෝධයකින් යුතුව, ලොව ප්‍රමුඛ පෙළේ ආයතනවල සහයෝගයද සහිතව Christell International Institute හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීම සිදුකරයි.

    Christell International Institute මෙරට අනෙකුත් රූපලාවණ්‍ය පුහුණු ආයතනවලින් වෙනස් වන තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ, එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සහ සෞඛ්‍ය සුවතා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වෙතින් පුහුණුව ලැබීමට අවස්ථාව හිමි වීමට අමතරව, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යවසායකත්ව හා ව්‍යාපාර දැනුමද හිමි වීම ය.

    “උසස් තත්ත්වයේ සහ වෛද්‍ය අනුමැතිය හිමි චර්ම ආරක්ෂණ නිෂ්පාදන නොමැති වීමට අමතරව, ජාත්‍යන්තරව පිළිගත් චර්ම ආරක්ෂණ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්ද ශ්‍රී ලංකාව තුළ පවතින බව අපට පෙනී ගියා. පුළුල් තාක්ෂණික දැනුමක් සමග රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන පළපුරුද්දක් අප සතුව පවතින නිසා, මෙම ගැටලුවට පිළියමක් ලෙස තරුණ පරපුරට නිසි පුහුණුවක් ලබාදීමට අප තීරණය කළා.” Christell Skin Clinic නිර්මාතෘ රමණි අර්සකුලරත්න මහත්මිය පැවසුවා ය.