May, 22, 2026
ශ්‍රී ලංකාවේ වෘත්තීය හා ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරමින්, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් ශ්‍රී ලංකාවේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන්(Cost Accounting Standards) නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලීන්(Cost Accounting Standards) ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැදගත් වැඩපිළිවෙළ මඟින් විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ උපාය මාර්ගික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රමිතීන් ඉන්දියාවේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන්ගේ පදනම් කර ගනිමින් සකස් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සංශෝධනය කර ඇත.
මෙහි නිල ආරම්භක උත්සවය 2026 මැයි 15 වන දින පස්වරු 6.00 සිට 8.30 දක්වා කොළඹ Taj Samudra හෝටලයේ Crystal Ballroom හිදී පැවැත්විය. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය හා කළමනාකරණ ගණකාධිකාරීවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනික විශේෂඥයින් සහ ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළත් සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වූ අතර එමඟින් මෙම වැඩසටහනේ ජාතික වැදගත්කම පිළිබිඹු විය.
ශ්‍රී ලංකාවේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් හඳුන්වා දීම, රටේ ගිණුම්කරණ හා මූල්‍ය කළමනාකරණ රාමුව තුළ දිගු කලක් බලාපොරොත්තු වූ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.මෙම ප්‍රමිතීන් පිරිවැය මැනීම, පාලනය හා වාර්තාකරණය සඳහා ව්‍යුහගත මාර්ගෝපදේශ සැපයීමට අපේක්ෂා කෙරෙන අතර, එමඟින් සංවිධාන කාර්යසාධනය වර්ධනය කිරීම, සම්පත් කාර්යක්ෂමව බෙදාහැරීම සහ කර්මාන්ත තුළ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා දායක වේ. මෙම ප්‍රමිතීන් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම විශාල හා මධ්‍යම පරිමාණ ආයතන වෙත අදාළ වේ.
මෙම උත්සවයේදී පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් නිල වශයෙන් එළිදැක්වීම සිදු වූ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ගිණුම්කරණ හා ආයතනික ක්ෂේත්‍රවල ප්රමුඛ පුද්ගලයන්ගේ දේශන ද ඇතුළත් විය. සහභාගී වූවන්ට මෙම ප්‍රමිතීන් සංවර්ධනය කළ ආකාරය, වර්තමාන ආර්ථික පරිසරය තුළ ඒවායේ වැදගත්කම සහ භාණ්ඩ මිල නියම කිරීම සහ සමාජයට සාධාරණ මිලකට භාණ්ඩ හා සේවාවන් සැපයීම කෙරෙහි අපේක්ෂිත බලපෑම පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව හිමි විය.
ශ්‍රී ලංකාවේ එකමජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය වන CMA ශ්‍රී ලංකා, වෘත්තීය ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ආර්ථික ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ දී වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටී. පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් එළිදැක්වීම මඟින්, ශ්‍රී ලංකාව ගෝලීය හොඳම භාවිතයන් සමඟ ගැළපීමේදී සහ දේශීය කර්මාන්ත අවශ්‍යතා සපුරාලීමේදී ඇති කැපවීම තවදුරටත් අවධාරණය කරන ලදී.
මෙම සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාවේ වඩාත් ශක්තිමත් හා විනිවිදභාවයෙන් යුතු පිරිවැය කළමනාකරණ රාමුවක් සඳහා පදනම සකස් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, අවසානයේදී තිරසාර ආර්ථික වර්ධනයට සහ සංවිධානික වගකීම්භාවය වැඩිදියුණු කිරීමට දායක වනු ඇත.
Video Story