Colombo EV Motor Show ප්‍රදර්ශනයේදී Mahindra, අනාගතයට ගැළපෙන ප්‍රවාහන විසඳුම් රැගෙන පෙරට එයි  

    July, 30, 2026

    ඉකුත්දා පැවති, Colombo EV Motor Show ප්‍රදර්ශනයේදී, ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට මුලපුරමින් නවතම Mahindra විද්‍යුත් වාහන (EV) පෙළක් සාර්ථකව එළිදක්වන ලදී. ප්‍රදර්ශන පරිශ්‍රයේ, Evolution Auto හි Mahindra කුටිය, මෙරට පරිසර හිතකාමී ප්‍රවාහන සංස්කෘතියක ආරම්භය සනිටුහන් කළ සුවිශේෂී ස්ථානයක් ලෙසින් කැපී පෙනුණි.

    මෙම ප්‍රදර්ශනය පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන්, ප්‍රවාහන මෙහෙයුම් සමාගම් සහ සාමාන්‍ය ජනතාව වෙත Mahindra විද්‍යුත් වාහන එකතුව සමීපව අත්විඳීමට ලැබුණු කදිම අවස්ථාවකි. එහිදී නාගරික මගී ප්‍රවාහනය සඳහාම විශේෂිත වූ Mahindra Treo Plus ත්‍රිරෝද රථය, භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවසන් සැතපුම දක්වා වූ සමස්ත සැපයුම් ජාලය ඉලක්ක කරගත් Mahindra Zor ත්‍රිරෝද රථය මෙන්ම නවීන වෙළෙඳ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන Mahindra ZEO four-wheeler, cargo රථය ප්‍රධාන වශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණි.

    ප්‍රදර්ශන භූමියේ Mahindra පරිශ්‍රය කරා ඇදී ආ පාරිභෝගිකයන්, සාම්ප්‍රදායික ඉන්ධන වාහනවලින්, විද්‍යුත් වාහන වෙත යොමුවීමෙන් ලබාගත හැකි ප්‍රායෝගික වාසි පිළිබඳව දැක්වූයේ ඉහළ උනන්දුවකි. පැමිණ සිටි ජනතාවට, එය හුදෙක් වාහන ප්‍රදර්ශනයකට පමණක් නොවිණි. එය ඔවුන්ට, විද්‍යුත් වාහන වෙත යොමුවී ධාවන පිරිවැය අවම කරගන්නා ආකාරය, එම වාහනවල ක්‍රියාකාරිත්වය, බැටරිය ආරෝපණය කිරීමේ පහසුව පමණක් නොව, පැටවිය හැකි භාණ්ඩ ධාරිතාව, මගී සුවපහසුව මෙන්ම එම වාහනවල දිගුකාලීන ආර්ථික වාසි වැනි කරුණු ගණනාවක් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබුණු මහඟු අවස්ථාවක්ද විණි. ඒ අනුව, මෙම ප්‍රදර්ශනයෙන්, අනාගත විද්‍යුත් වාහන ගැනුම්කරුවන්ට Mahindra විද්‍යුත් වාහන, තම එදිනෙදා අවශ්‍යතා මෙන්ම වෙළෙඳ ප්‍රවාහන අවශ්‍යතාද ඉටුකර ගැනීමට යොදාගත හැකි ආකාරය පිළිබඳව ජනතාවට පැහැදිලිව දැනගැනිමට හැකි විය.

    මෙම ප්‍රදර්ශනයේදී, සාම්ප්‍රදායික ඉන්ධන ත්‍රිරෝද රථ වෙනුවට, මහමඟ විශ්වාසදායී මෙන්ම ලාභදායී විසඳුමක් සෙවූ මගී වාහන හිමිකරුවන්ගේ සුවිශාල අවධානයක්, Treo Plus ත්‍රීරෝද රථය වෙත යොමු විය. ඒ, විද්‍යුත් තාක්ෂණය, අවම මෙහෙයුම් පිරිවැය සමගින් අධික තදබදය සහිත නාගරික ගමනාගමනයේදී වුවත්, මගියාටත් රියදුරුටත් ඉන් සැලසෙන සුවපහසුව හේතුවෙනි. එසේම, සිය නගරබද ධාවනයේදී ප්‍රවාහන වියදම් අවම කරගැනීමට උනන්දුවක් දක්වන සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ බෙදාහැරීමේ නියෝජිතයන්ගේ අවධානය  ඉහළින්ම දිනාගත් වෙළෙඳ වාහනයක් බවට, Zor ත්‍රිරෝද රථය පත් විණි. ඒ අතරම, ඉහළම කාර්යක්ෂමතාවයකින් යුතුව, භාණ්ඩ වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කිරීම සඳහාම ගැළපෙන ZEO, cargo රථය, Mahindra සමාගමේ තාක්ෂණික විශිෂ්ටත්වය මනාව පිළිඹිබු කරමින්, ශ්‍රී ලාංකීය ව්‍යාපාරවල අනාගත අපේක්ෂාවන්ට  ගැළපෙන විසඳුමක් ලෙසද නොමඳ අවධානයට ලක් විය.

    ප්‍රදර්ශනය සඳහා Mahindra සමාගමේ මෙම සුවිශේෂී සහභාගිත්වය, හුදෙක් වාහන ප්‍රදර්ශනයකට දායක වීමෙන් පමණක් නොනැවතී, නවතම තාක්ෂණයේ මහිමයද සමගින් වෙළෙඳ පොළට එන විද්‍යුත් වාහන, මහමඟ විශ්වාසනීය සහකරුවකු බවට ජනතාව තුළ පිළිගැනීමක් ඇති කිරීමේ සාර්ථක තෝතැන්නක් බවටද පත් විය. එමඟින්, Mahindra සන්නාමයේ විද්‍යුත් වාහන මාදිලි පෙළ පිළිබඳව පුළුල් දැනුවත්භාවයක් මෙන්ම, පිරිවැය අවම කරගනිමින් පිරිසිදු හා තිරසාර ප්‍රවාහන අනාගතයක් කරා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක්ද ජනතාවට ලබාගත හැකි විණි. ඒ අනුව, එම ප්‍රදර්ශනයේ Mahindra නියෝජනය, ශ්‍රී ලාංකීය ජනතාව විද්‍යුත් වාහන කරා කඩිනමින් යොමුකිරීමේ සුවිශේෂී පියවරක් බවටද පත් විය.

    ශ්‍රී ලංකාව වඩාත් බුද්ධිමත් සහ තිරසාර ප්‍රවාහන විසඳුම් කරා අඛණ්ඩව පියවර නගන මෙම වකවානුවේ පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරද සවිබල ගැන්විය හැකි විශ්වාසදායක, කාර්යක්ෂම මෙන්ම, අනාගතයට ගැළපෙන විද්‍යුත් වාහන පිරිනැමීමට Mahindra සමාගම සැමවිටම කැපවී සිටියි.