Culinario හි තෙවන අදියරේ අනුග්‍රාහකත්වය සමඟින් එඩින්බරෝ සූප ශාස්ත්‍රයේ විශිෂ්ටත්වය සමරයි

    June, 13, 2023

    ශ්‍රී ලාංකාවේ විශිෂ්ටතම ආහාර නිෂ්පාදන සමාගමක් වන එඩින්බරෝ සමාගම පසුගියදා නිමාව දුටු සුප්‍රකට සූප ශාස්ත්‍ර තරඟයක් වන Culinario හි තෙවන අදියර සඳහා සිය සාඩම්බර අනුග්‍රාහකත්වය සැපයීය. සංචාරක කර්මාන්තය සහ සංග්‍රහශීලීත්වය පිළිබඳව ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International Center of Tourism and Hospitality) සහ NSBM හරිත විශ්වවිද්‍යාලයේ Foodies Club හි සංවිධායකත්වයෙන් පසුගිය මැයි 30 වැනිදා මෙම තරඟාවලිය NSBM හරිත විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවත්විණි.

    Culinario අවසන් මහා තරඟය සඳහා සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් රැසක් සහභාගී වූ අතර කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් අවසන් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබිණි. තරඟාවලියේ පළමු වටයේ සහභාගී වූ කණ්ඩායම් 40 ක් අතරින් තේරී පත් වූ කණ්ඩායම් 10 ක් අවසන් වටය සඳහා තරඟ වැදුණු අතර ඒ අතරින් අචිනි අපරැක්ක සහ නුමාශා නදුනි අවසන් ජයග්‍රාහකයින් වශයෙන් තේරී පත් විණි. සේනිලා සූරියාරච්චි සහ මනීෂා හන්සනී විසින් එහි දෙවන ස්ථානය දිනා ගත්හ.

    සිය අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වමින් එඩින්බරෝහි අලෙවි ප්‍රධානී චේතිකා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවැසුවාය. “Culinario තරඟාවලිය සඳහා සහභාගී වූ සියලුම කණ්ඩායම්වල තරඟකරුවන් විසින් ප්‍රදර්ශනය කළ දක්ෂතා, නිර්මාණශීලීත්වය සහ ඒ සඳහා වන කැමැත්ත පිළිබඳව අපි සතුටට පත් වෙනවා. මේ රට තුළ විශිෂ්ට සූප ශාස්ත්‍රයක් පෝෂණය කළ යුතු බව සහ ඊට සහයෝගය දැක්විය යුතු බවත් මේ තරඟාවලිය ශ්‍රී ලංකාවේ සූප ශාස්ත්‍ර කුසලතා ප්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවක් වන බවත් එඩින්බරෝ ආයතනය විදියට අපි විශ්වාස කරනවා. මේ තරඟාවලියේ ජයග්‍රහාකයන්ගේ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් අපි ඔවුන්ට සුබ පැතුම් එකතු කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. ඇත්ත වශයෙන්ම අපි කිව යුතුයි, තරඟාවලියට සහභාගී වූ සියලුම දෙනාගේ කැපවීම සහ ඔවුන්ගේ නව ආහාර නිෂ්පාදන මෙම අවස්ථාවට ආලෝකයක් එක් කළ බව. ප්‍රීතිමත් ආහාර අත්දැකීමක් ලබාදීමේ මෙහෙවර වෙනුවෙන් නිර්න්තරයෙන්ම කැප වී ක්‍රියා කරන අපි සූප ශාස්ත්‍ර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් අපේ සහයෝගය උපරිමයෙන් ලබා දෙන බවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.“

    එඩින්බරෝ කණ්ඩායම නියෝජනය කරමින් එහි අලෙවි ප්‍රධානී චේතිකා රාජපක්ෂ, සන්නාම විධායක නිලධාරී ප්‍රදීප් ද සිල්වා, සන්නාම විධායක නිලධාරී පණ්ඩුල පියුමාල්, ප්‍රවර්ධන විධායක නිලධාරී අසංක ජයසුන්දර, NSBM හරිත විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ, නියෝජ්‍ය උපකුලපති චමින්ද රත්නායක ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් ද ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය විචිත්‍රවත් විය.

    සූප ශාස්ත්‍ර ආශ්‍රිත නව නිෂ්පාදන දිරි ගැන්වීමේ වැදගත්කම අවබෝධ කර ගත් සමාගමක් වශයෙන් එඩින්බරෝ සමාගම සූප ශාස්ත්‍රයේ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමට දක්වනු ලබන කැපවීම මෙම අනුග්‍රාහකත්වයෙන් පැහැදිලි වෙයි. එසේම මෙම සූප ශාස්ත්‍ර තරඟාවලියට සමගාමීව දකුණු ආසියානු ආහාර කලාව ප්‍රවර්ධනය කරමින් සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන්නන් සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් එඩින්බරෝ සමාගම දක්වන කැපවීම සහ උනන්දුව ද ප්‍රදර්ශනය විය.

    ප්‍රීතිමත් ආහාර අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන එඩින්බරෝ සමාගම සිය නිෂ්පාදන දකුණු ආසියාවේ පමණක් නොව, යුරෝපය ඇතුළු රටවල් ගණනාවකට ව්‍යාප්ත කර ඇත. සිය ගුණාත්මක සහ විශ්වාසනීය රසය ලෝකය පුරා ව්‍යාප්ත කරමින් එඩින්බරෝ සමාගම මේ වන විට සිය නිෂ්පාදන රටවල් 26කට අපනයනය කරයි.

    වසර 50කට වැඩි විශිෂ්ටත්වයක් සහ විශේෂඥ දැනුම සමඟින් එඩින්බරෝ සමාගම දැඩි තත්ත්ව ප්‍රමිතීන් පවත්වාගෙන යමින් ජාත්‍යන්තර තත්ත්ව සහතික පවා සපුරා ඇති අතර සෑම නිෂ්පාදනයක්ම රසවත් බවින් සහ ගුණාත්මක බවින් පරිපූර්ණ කිරීමට නිරන්තරයෙන් උත්සහ කරයි.