DFCC බැංකුවෙන්, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු කාන්තා ව්‍යවසායකත්ව ප්‍රජාව වෙනුවෙන් සුවිශේෂී වැඩසටහන් මාලාවක්

    June, 22, 2021

    ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු ස්වාධීන හා වෙහෙස මහන්සි වී කටයුතු කරන කාන්තාවන් ඇගයීමට ලක්කිරීමින්, තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඔවුන්ට මගපෙන්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙම වැඩසටහන් වලදී තේ වගාව, රූපලාවණ්‍ය මධ්‍යස්ථාන කළමනාකරණය, කිරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍ර වල සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු කාන්තාවන් සවිබල ගැන්වීම, දිරිමත් කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිය.

    මෙම වැඩමුළු පැවැත්වීම සඳහා DFCC බැංකුවට අදාළ ක්ෂේත්‍ර වල විශේෂඥයන්ගේ සහයෝගය ලැබිණි. තේ කර්මාන්තයේ නියුතු කාන්තාවන් වෙනුවෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කලාපීය සංවර්ධන නිලධාරී සිසිර පෙරේරා මහතාගේ සම්පත් දායකත්වය හිමිවූ අතර, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ වැඩමුළුවේදී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීනී නයනා කරුණාරත්න මහත්මිය ක්ෂේත්‍රය පිළිබඳ තම අත්දැකීම් ලබාදුන්නා ය.

    කිරි කර්මාන්තයේ නියුතු කාන්තාවන් වෙනුවෙන්, DFCC බැංකුවේ උප සභාපති/ප්‍රාදේශීය කළමනාකරු වජිර පුංචිහේවා මහතා විසින් මූල්‍ය සාක්ෂරතාව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩමුළුව පවත්වන ලදි. කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාර වල නියුතු ව්‍යවසායිකාවන්ගේ වැඩමුළුව සඳහා දායක වූයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සෙව්වන්දි ගුණවර්ධන මහත්මියයි.

    DFCC බැංකුව මෙවැනි වැඩසටහන් පෙළක් පැවැත්වීමට තීරණය කළේ, ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන බලවේගය බවට ක්‍රමයෙන් පත්වෙමින් සිටින බව හඳුනා ගැනීම හේතුවෙනි. මෙරට ආර්ථික වර්ධනය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය වන අතර, මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම යනු ආර්ථිකයේ පුරුෂ-මූලික පැතිමානයන් වෙනස් කිරීම සඳහා තබන වැදගත් ඉදිරි පියවරක් වනු ඇත.

    මෙම වැඩමුළු මගින් සිය දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙතින් වටිනා උපදෙස් ලබාගැනීමට බොහෝ දෙනෙකුට අවස්ථාව හිමි විය. එමෙන්ම මෙම වැඩසටහන් මාලාව ඔස්සේ, මෙරට ආර්ථික හා සමාජයීය වර්ධනය උදෙසා සුවිශාල දායකත්වයක් ලබාදෙන, සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල නියුතු කාන්තාවන් ඇගයීමටද DFCC බැංකුවට අවස්ථාව ලැබිණි.

    'DFCC සහය හමුව' සහ 'DFCC ව්‍යාපාර හමුව' වැනි වැඩසටහන් ඔස්සේ බොහෝ අවස්ථා වලදී, කුසලතා වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින්, මෙරට ව්‍යවසායකයන්ට අත්වැලක් වීම සඳහා DFCC බැංකුවට හැකියාව ලැබිණි. සහනදායී ණය යෝජනා ක්‍රම සහ නිරන්තර මගපෙන්වීම් යනාදිය ඔස්සේ මෙරට සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත්වී ඇති DFCC බැංකුව, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට දැනටමත් සැලසුම් කර ඇත.