DFCC බැංකුවේ අනුග්‍රාහකත්වය සමගින් 2022 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

    March, 2, 2023

    ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය හා පුරෝගාමී බැංකුවක් වන DFCC බැංකුව මෙවරත් WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ සුවිශේෂී අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළේ ය. ව්‍යවසායිකාවන් විසින් ව්‍යාපාර ක්ෂේත්‍රයට දක්වන ලද විශිෂ්ට දායකත්වයන් ඇගයීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2023 ජනවාරි 11 දින පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, උත්සවයේ අවසන් සම්මානය සහ 2022 වසරේ විශිෂ්ටතම ව්‍යවසායිකාව සම්මානය Genelabs Medical (පුද්.) සමාගමේ සභාපතිනිය වන වෛද්‍ය චන්දනමාලි පුංචිහේවා මහත්මිය වෙත ප්‍රදානය කරන ලදි. මෙම සම්මාන උළෙලේ මහා පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ රන් සම්මානය සහ බස්නාහිර පළාත සඳහා වූ රන් සම්මානය මෙන්ම ප්‍රජාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සඳහා විශේෂ ඇගයීමක්ද වෛද්‍ය පුංචිහේවා මහත්මිය වෙත හිමි විය.

    කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (Women's Chamber of Industry and Commerce - WCIC) විසින් සංවිධානය කරන ලද 2022 ‘ප්‍රතිභාභිෂේක’ කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ අරමුණ වූයේ, ශ්‍රී ලංකාවේ සහ සාක් කලාපයේ ව්‍යවසායිකාවන්ගේ මෙහෙවර ඇගයීමට ලක්කිරීම ය. සම්මාන සඳහා අයදුම්පත් 175 ක් ලැබුණු අතර, ඒ අතරින් ව්‍යවසායිකාවෝ 47 දෙනෙක් සම්මාන සඳහා සුදුසුකම් ලැබූහ. රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන් දැක්වූ සුවිශේෂී දායකත්වය මෙන්ම, තම ව්‍යාපාර අඛණ්ඩව දියුණුව කරා ගෙනයමින්, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් මෙසේ ඇගයීමට ලක්කරන ලදි. සම්මුඛ සාකච්ඡා ඇතුළු විවිධාකාර ක්‍රම සහිත ඉතාමත් පුළුල් හා ස්වාධීන ඇගයුම් ක්‍රියාවලියක් මගින් ජයග්‍රාහිකාවන් තෝරාගන්නා ලද අතර, විනිවිදභාවය හා විශ්වාසනීයත්වය ආරක්ෂා කරගැනීම සඳහා එහිදී දැඩි අවධානයක් යොමු විය. Ernest and Young සමාගම විසින් ස්වාධීන තුන්වැනි පාර්ශවයක් ලෙස නාමයෝජනා ඇගයීමට ලක්කරන ලදි.

    “ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන්ගේ මෙහෙවර අගයන මෙම වැඩසටහනට දායක වීමට ලැබීම අපට මහත් සතුටක්. කාන්තාවන් සවිබල ගන්වන අතරම සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමට DFCC බැංකුව කැප වී සිටිනවා. ‘DFCC ආලෝකා’ යනු මෙයට කදිම උදාහරණයක්. එය කාන්තාවන්ට තම සිහින හා බලාපොරොත්තු සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය හා සහයෝගය ලබාදෙනවා. වෛද්‍ය චන්දනමාලි පුංචිහේවා මහත්මියට මෙන්ම, ‘DFCC ආලෝකා’ සේවාව භාවිතා කරන ව්‍යවසායිකාවන් ඇතුළු සියලුම ජයග්‍රාහිකාවන්ට DFCC බැංකුවේ උණුසුම් සුබපැතුම්. රටේ ආර්ථික සංවර්ධනයට ඔවුන් ලබාදෙන මහඟු දායකත්වය අප සැමටම ආදර්ශයක්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.

    ‘DFCC ආලෝකා’ යනු වයස් භේදයකින් තොරව ශ්‍රී ලාංකික කාන්තාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය  අත්වැල ලබාදෙන සුවිශේෂී මූල්‍යමය සහ මූල්‍යමය නොවන සේවාවන් එකතුවකි. මෙමගින් කාන්තාවන්ට විශේෂයෙන් වැදගත් වන ප්‍රතිලාභ රාශියක් හිමි වේ.  අවම මූලික තැන්පතුවකින් ගිණුමක් ආරම්භ කළ හැකි වීම, විශේෂ පොලී අනුපාතයන් සහ ණය පහසුකම් හිමි වීම, දිවයින පුරා ATM යන්ත්‍ර වලින් ගාස්තුවකින් තොරව මුදල් ලබාගත හැකි වීම, ඩිජිටල් බැංකුකරණ සේවාවන් හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් මීට ඇතුළත් ය. තවද විශේෂ පොලී අනුපාත යටතේ හිමිවන පෞද්ගලික ණය, නිවාස ණය සහ රන්භාණ්ඩ උකස් සේවාවන්, නොමිලේ රක්ෂණ ආවරණයක් සහ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන්ද ‘DFCC ආලෝකා’ මගින් ලබාදෙන අතර, ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථාන වලදී ත්‍යාග පිරිනැමීමද සිදුකෙරේ.  එපමණක් නොව, කාන්තාවන්ගේ හිමිකාරීත්වය හෝ මෙහෙයවීම යටතේ පවතින ව්‍යාපාරවල උන්නතිය වෙනුවෙන්, බැංකු අයිරා සහ බැංකු ඇපකර ආදිය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ USAID වැනි පාර්ශ්වයන් සමග එක් වී හඳුන්වා දුන් චක්‍රීය කෙටිකාලීන ණය සහ කාලීන ණය පහසුකම් වැනි විශේෂිත සේවාවන් රාශියක්ද ‘DFCC ආලෝකා’ මගින් හඳුන්වා දී ඇත. එමෙන්ම ගනුදෙනුකරුවන්ට සෑම දිනකම පැය විසි හතර පුරා සහය වීම සඳහා භාෂා තුනෙන්ම සේවාවන් ලබාදෙන සහය සේවාවක්ද ක්‍රියාත්මක වේ. සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම සඳහා ඒ පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ කණ්ඩායමක් සූදානමින් සිටින අතර, කාන්තාවන්ගේ මූල්‍ය අවශ්‍යතා විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් සැලසුම් කළ, වෙළඳ නාමය සඳහන් ක්‍රෙඩිට් කාඩ්පත, කාන්තාවන්ගේ ව්‍යාපාර කටයුතු වලට මෙන්ම ජීවන රටාවන්ටද ඉමහත් පහසුවක් ගෙනෙයි.

    මෙම සම්මාන උළෙලේදී Herveda Botanicals Pvt Ltd හි ප්‍රතිවා පාන්ඩේ (සාක් කලාපය සහ සාක් කාණ්ඩයේ රන් සම්මානය), Brilliant Cuts Pvt Ltd හි වින්ධ්‍යා පෙරේරා (විශිෂ්ටතම තරුණ ව්‍යසායිකාව), Eco Serene Biotech Pvt Ltd හි ඉෂා විජයරත්නම් (කුඩා පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම ආරම්භක මට්ටමේ ව්‍යාපාරය සහ වයඹ පළාත් සම්මානය), Ruwini Jayarathne Jewellery සමාගමේ රුවිනි ජයරත්න (දිරිය කාන්තා සම්මානය සහ ආරම්භක මට්ටමේ ව්‍යාපාර කාණ්ඩයේ රන් සම්මානය), Manisha Exports Pvt Ltd හි නිශානි ප්‍රනාන්දු (අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යවසායිකාව/නිෂ්පාදනය), සහ ටානියා පොළොන්නෝවිට වෙත්තමුණි (අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යවසායිකාව/සේවා සහ මහා පරිමාණ සමාගම් කාණ්ඩයේ සම රිදී සම්මානය) ඇතුළු විශිෂ්ට ව්‍යවසායිකාවෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්වූහ.

    “‘DFCC ආලෝකා’ අපගේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කිරීම අපට මහත් සතුටක්. ‘DFCC ආලෝකා’ වැනි සේවාවන්, කාන්තාවන්ට විශේෂයෙන් ගැළපෙන මූල්‍ය සහ මූල්‍ය නොවන සේවාවන් හරහා ව්‍යවසායිකාවන් මෙන්ම වෘත්තීය කාන්තාවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනවා. WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල තුළින් අප උත්සාහ කරන්නේ, එවැනි කාන්තාවන් රටේ ආර්ථිකයට ලබාදෙන විශිෂ්ට දායකත්වය ඇගයීමට ලක්කිරීමයි. ඒ අනුව මෙම හවුල්කාරීත්වය බෙහෙවින් ගැළපෙන සුසංයෝගයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. DFCC බැංකුවට අපගේ ස්තූතිය පළකිරීමටත්, ජයග්‍රාහිකාවන්ට උණුසුම් සුබපැතුම් පිරිනැමීමටත් අප මෙය අවස්ථාවක් කරගන්නවා.” කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයේ (WCIC) සභාපතිනි අනෝජි ද සිල්වා මහත්මිය පැවසුවා ය.

     

    ඡායාරූපය (වමේ සිට): WCIC ප්‍රතිභාභිෂේක සම සභාපතිනි/ WCIC  පාලක මණ්ඩල සාමාජිකා තුසිතා කුමාරකුලසිංහම්, WCIC ප්‍රතිභාභිෂේක සම සභාපතිනි රමණි පොන්නම්බලම්, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, GeneLabs Pvt Ltd හි වෛද්‍ය චන්දනමාලි පුංචිහේවා සහ WCIC සභාපතිනි අනෝජි ද සිල්වා යන මහත්ම මහත්මීන්