DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කෙරේ

    March, 30, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කර තිබේ. 2021 ජනවාරි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත. සොහාන්ත විජේසිංහ මහතා ශාඛා බැංකුකරණය, වෙළඳ මූල්‍ය සේවා, ගෙවීම් හා මුදල් කළමනාකරණය, සහ ආයතනික හා වාණිජ බැංකුකරණ වැනි අංශ සම්බන්ධයෙන් දශක 3 ක් පුරා විහිදෙන අත්දැකීම් සම්භාරයක් හිමි ප්‍රවීණ බැංකු සේවා වෘත්තිකයෙකි.

    DFCC බැංකුව සමග එක්වීමට පෙර විජේසිංහ මහතා HSBC Sri Lanka හි වසර 22 ක කාලයක් සේවය කළ අතර එහිදී ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව මට්ටමේ තනතුරු රැසක් දරා ඇත. එහි මූල්‍ය ආයතන ප්‍රධානී ලෙස කටයුතු කළ කාලයේදී ඒ මහතා එවකට දේශීය බැංකුවක් සඳහා වූ විශාලම ඒකාබද්ධ ණයක් ලෙස සැලකුණු ගනුදෙනුවක් සම්බන්ධ කටයුතු වලදී පෙරමුණ ගනිමින් එම ගනුදෙනුව සාර්ථක කරගැනීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන්නේ ය. ගෙවීම් හා මුදල් කළමනාකරණ ප්‍රධානී ලෙස කටයුතු කරමින් ඒ මහතා වසර 3 ක් පුරා විශිෂ්ටතම මුදල් කළමනාකරණ බැංකුව සඳහා වන යූරෝමනී සම්මානය (Euromoney Award for Best Cash Management Bank) දිනාගැනීම සඳහා සිය කණ්ඩායමට නායකත්වය දුන් අතර, ජාත්‍යන්තර අනුබද්ධ බැංකුකරණ ප්‍රධානී සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සුවිශේෂී මට්ටමේ ගනුදෙනු සිදුකිරීමටත්, ප්‍රමුඛ පෙළේ ආයතනික සම්බන්ධතා ශක්තිමත් කරගැනීමටත් වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. ඊට අමතරව HSBC බැංකුව වෙනුවෙන් මාලදිවයින සඳහා වැඩබලන දේශීය කළමනාකරු ලෙසද, එම බැංකුවේ වැඩබලන මහා පරිමාණ බැංකුකරණ සේවා ප්‍රධානී ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.

    කොළඹ 10 ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සොහාන්ත විජේසිංහ මහතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වේ. DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස ඒ මහතා එම බැංකුවේ ප්‍රමුඛ පෙළේ ණය හා තැන්පතු සේවා, විශිෂ්ට පාරිභෝගික සේවාව සහ අතිනවීන ගෙවීම් හා මුදල් කළමනාකරණ සේවාවක් වන DFCC iConnect ඇතුළු අංශ රැසක් සම්බන්ධ වගකීම් දරනු ඇත.